රටේ ආර්ථික අවපාතය දැන දැනම රජය එක දිනක් තුළ මෙරටට වාහන හාරදහසක් ගෙන්වූවා -මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන

  👤  1627 readers have read this article !
By mawbima 2018-10-19

පන්නිපිටිය - හෂාන් පුෂ්පික

මේ රටේ ආර්ථික අවපාතය දැන දැනම රජය ඉකුත් මාසයේ එක දිනක් තුළ වාහන හාරදහසක් මේ රටට ගෙන් වූ බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා (18දා) පැවැසීය.


හෙතෙම මේ බව පැවැසුවේ මහරගම ඇල්හේන පාරේ පිහිටි මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී මන්ත්‍රිවරයා තවදුරටත් මෙසේද කීය.

"අද මේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඒ මූල්‍ය කළමනාකරණය අසමත් නිසා සිදු වූ පලවිපාකයක්.

ඒ විතරක් නෙවෙයි අද වෙන කොට මේ රජයට කිසිම විෂයක් පිළිබඳ කළමනාකරණය කර ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රටේ විදේශ විනිමය අවලංගු කොට නැවත පිටරටට රැගෙන යන තත්ත්වයක් උදා වෙලා. ඒ නිසා මේ රටට අලුත් විදේශ විනිමය නොඑන වටපිටාවකුයි උදා වෙලා තියෙන්නේ. අද රට අවලංගු කාසියක් වෙලා. අවලංගු වූ තැනක විදේශ විනිමය තැන්පත් කරන්න මේ රටට ආයෝජකයෝ ඒවිද?

රජයේ වැය ශීර්ෂය පාලනය කිරීමට හෝ රජය මැදිහත් වීමක් නෑ. මෙවන් තත්ත්වයක් තුළයි සුඛෝපභෝගි වාහන 4,000ක් ගිය මාසෙ එක දිනකදී රජය මෙරටට ගෙන්වීමට පියවර ගත්තේ. අපි රජයට මීට මාස 6කට 7කට පෙර කීවා සුඛෝපභෝගී වාහන ආනයනය මඳක් නතර කරන්න නැතිනම් ආර්ථික අවපාතය වැඩිවේවි කියලා. නමුත් රජය ඇහුම්කන් දුන්නෙ නෑ. එහි ප්‍රතිඵල අද පේන්න තියෙනවා.

අද වන විට ලංකා බැංකුවේ, මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරලා. මේක බරපතළ තත්ත්වයක්. මේ ප්‍රවෘත්ති විදේශ රටවලට ගියාම අපේ රටේ ප්‍රතිරූපයට හානියක් වෙනවා. ජනපති, හිටපු ජනපති හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය ගැන අපි වහාම පරීක්ෂණයක් ඉල්ලා සිටියත් කථානායකවරයා අපේ කටවල් වහල මාසයකට පමණ පසුවයි එහි චෝදනා ලැබූ ඩී.අයි.ජී. ගෙ වැඩ තහනම් කරන්නේ.

ඒ වගේම උතුරේ පුරාවිද්‍යා ස්ථාන ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. කුච්චිවැලි විහාරය පුරාවිද්‍යා ස්ථානයක්. එතැන ඩෝසර් කර ජනතාව පදිංචි කරන්න හදනවා. ඒ පන්සලේ හාමුදුරුවෝ හරිම අසරණයි. ඒ වගේම ස්ථාන රැසක් උතුරුකරයේ මේ අවදානමට ලක්වෙලා. ඒ නිසා ජනාධිපතිතුමා, පුරාවිද්‍යා ඇමැතිතුමා, යුද හමුදාපතිතුමා වහාම මැදිහත් වෙලා මේ අපරාධය නවත්වන ලෙස ඉල්ලා සිටිනවා.
එසේම ජනාධිපතිවරයා ඝාතනයට ඉන්දීය සම්බන්ධයක් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ සමඟ ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා සමඟ හදිසි දුරකථන සංවාද කරනවා.

ඊට පස්සේ මාධ්‍ය වාර්තා පළවෙනවා. එහෙම ප්‍රකාශයක් කළේ නෑ කියලා. මේක රටකින් රටකට කරන අවමානයක්."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon