කල් ඉකුත් වූ පළාත් සභා මැතිවරණ ඉල්ලා රජයට බල කෙරෙන විරෝධතා නොවැ.3දා

  👤  1625 readers have read this article !
By mawbima 2018-10-19

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

කාලය ඉක්මවා තිබෙන පළාත් සභාවල පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන විරෝධතා ව්‍යාපාරය නොවැම්බර් මස 03 වැනිදා මහනුවර ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) දින රාත්‍රි පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

රට ආර්ථිකය අර්බුදයට ඇද දමමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් මර්දනය දියත් කරමින්, අත්තනෝමතික ලෙස මැතිවරණ කල් දමමින් ආණ්ඩුව ගෙන යන මෙම ඒකාධිපති පාලන ක්‍රමයට එරෙහිව ජනතාව සමඟ පෙළගැසී ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී විරෝධතා මාලාවක් දියත් කිරීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙක් 'මව්බිම'ට ප්‍රකාශ කළේය. පළමු විරෝධතා රැලිය අනුරාධපුරයෙන් ආරම්භ කරන බවත් දෙවැනි විරෝධතා රැලිය අනුරාධපුර පැවැත්වීමෙන් අනතුරුව රත්නපුර, කුරුණෑගල ඇතුළු රට පුරා මෙම විරෝධතා රැලි මාලාව සංවිධාන කරන බවත් එම නියෝජිතයා සඳහන් කළේය.

මීට අමතරව වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හේතු හා ඊට ලබාදිය යුතු විසඳුම් සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයන්ගෙන් වාර්තාවක් කැඳවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කළ බවද ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon