මිහින්තලා සෑයේ පඩිපෙළ හදන්න කෝටියක් හොයාගන්න

  👤  3182 readers have read this article !
By mawbima 2018-10-19

අනුරාධපුර- මහේෂ් විජේසූරිය

බුදුන් වහන්සේගේ උෟර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදිකර තිබෙන මිහින්තලා මහ සෑ මළුවට නැඟීමට යෝජිත ගල් පඩිපෙළ සැකසීම සඳහා රුපියල් මිලියන දහයක මුදලක් (රුපියල් කෝටියක්) සපයා ගැනීමට කටයුතු කරන මෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් (ශාස්ත්‍රීය/ වාස්තු විද්‍යා සංරක්‍ෂණ) වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක මහතා ශාසනාලයෙන් යුතුව තමන් වහන්සේට ලිඛිතව කළ දැන්වීමෙන් තමන් මවිතයට හා සංවේගයට පත්වූ බව මිහින්තලා රජමහ විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වලවාහැංගුණවැව ධමමරතන නායක හිමියෝ පැවැසූහ.

මිහින්තලා රජ මහා විහාරාධිපති හිමිපාණන් විසින් මහ සෑය වෙත බැතිමතුන් ගමන් කරනා ගල් පඩි 87කින් සමන්විත පියගැට පෙළ අන්තරාදායක ස්ථානයක් බව වටහා ගැනීමෙන් අනතුරුව එය ආරක්‍ෂිත මාර්ගයක් ලෙස නියමිත ප්‍රමිතියට ඉදිකර දෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අදාළ ලිපිය උන්වහන්සේට යොමු කර තිබේ.

පුරාවිද්‍යා අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් (ශාස්ත්‍රීය/ වාස්තු විද්‍යා සංරක්‍ෂණ) වාස්තු විද්‍යා ප්‍රසන්න බී. රත්නායක මහතාගේ අස්සනින් යුතුව පසුගිය 03 වැනිදා අංක ඩී.ඒ.ආර්.සී.එච්./ එච්.ඕ/ එන්.සී./ ඒ.සී.ඕ. 30-ඪඪ ලිපිය යොමු කරමින් මේ බව කියා තිබිණි.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

' මිහින්තලා මහ සෑයට නැඟීමට යෝජිත පඩිපෙළ සැකසීම සඳහා ඔබ වහන්සේගේ ඉල්ලීම පරිදි මේ වන විට සැලසුම් හා ඇස්තමේන්තු පිළියෙල කර ඇත. එහි දළ වියදම් ඇස්තමේන්තුව රුපියල් 11,914,018.21ක් වේ. ඉහත ඇස්තමේන්තුව සකසා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් එම කාර්යය ඉටු කර ගැනීම සඳහාය.

මහ සෑ මළුව හා මල් ආසන සඳහා ලැබුණු ප්‍රතිපාදනවලින් දැනට රුපියල් මිලියන දෙකක මුදලක් දෙපාර්තමේන්තුවේ ඉතිරිව ඇත. ඒ අනුව තවත් රුපියල් මිලියන 10ක් පමණ ඉහත කාර්යය සඳහා අවශ්‍ය වී ඇත. මේ සමඟ අදාළ සැලසුම හා ඇස්තමේන්තු පිටපතක් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලබන අතර අදාළ ප්‍රතිපාදන සපයා ගැනීමට කටයුතු කරන මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමි' යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැව ධම්මරතන නායක හිමිපාණන් මෙසේ ප්‍රකාශ කරති.

'මට හැඟෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට මුදල් සම්පාදනය කර ගන්න කියලා වගේ මේ ලිපියෙන් කියලා තියෙන්නේ. බෞද්ධයන්ට අයිති මේ රටේ පළමු විහාරස්ථානය වන මිහින්තලය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මට තමයි මුදල් සපයා ගන්න වෙලා තියෙන්නේ.

මම ඉල්ලීම කළේ මේ පඩිපෙළ ඉතාම අන්තරාදායක නිසයි. සමහර අවස්ථාවලදී බැතිමතුන් විශාල වශයෙන් එහි ගමන් කරන කොට විශාල තෙරපීමක් ඇති වෙනවා. පොසොන් සමයට එම ස්ථානය ඉතා අනතුරුදායකයි. මේ ස්ථානය හදන්න මගෙන් මුදල් ඉල්ලලා හරි යන්නේ නෑ. ඊට අදාළ ආයතනවලට දන්වලා ඒ ප්‍රතිපාදන සපයා ගන්න එතුමන්ලා දැන ගත යුතු බව මා ශාසනාලයෙන් එතුමන්ලාට දැනුම් දෙනවා'යි උන්වහන්සේ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon