පෞද්ගලික ආරවුලකට බළපිටියේ අයෙක් ඝාතනය කරලා

  👤  3142 readers have read this article !
By mawbima 2018-10-19

බළපිටිය _ දම්සරී ලියනගේ

බළපිටිය, මිගෙට්ටුවත්තේදී පෙරේදා (17දා) රාත්‍රි තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙන බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. පෙරේදා (17දා) රාත්‍රි 8.30ට පමණ මිගෙට්ටුවත්ත, ගුණානන්ද මාවතේ පිහිටි වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී මෙම ඝාතනය සිදුව තිබේ.ඝාතනයට ලක්ව ඇත්තේ බළපිටිය, සිරිසේන මාවතේ පදිංචි දමිත් කුමාර ද සොයිසා (29) නමැති අයෙකි. විවාහකයකු වන ඔහු වසරක් වයසැති පුතකුගේ පියකු බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මියගිය අය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (18දා) බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ඝාතනය සිදු වූ ස්ථානයේදී පවත්වන ලදී. එහිදී දේහය බළපිටිය මූලික රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට බළපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ. ඊයේ (18දා) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

ඝාතනයට ලක් වූ අයගේ ශරීරයේ තියුණු පිහි පහර 08ක් තිබෙන බවත් එයින් 06ක් පපුව ප්‍රදේශයේත් දකුණු අතේ සහ මුහුණේ එක් පිහි පහර බැගිනුත් තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මියගිය අය බළපිටිය පදිංචි ලලිත් හා කිරියා නමින් හඳුන්වන අයිය _ මලෝ දෙදෙනකු සමඟ පෞද්ගලික ආරවුලක් ඇති කර ගෙන තිබේ. එය බහින් බස්වීමක් දක්වා දුරදිග ගොස් තිබෙන අතර ඝාතනයට ලක් වූ අය කිරියා නමැති අය විසින් අල්ලාගෙන සිටින විට ලලිත් නමැති අය විසින් පිහි පහර එල්ල කර තිබෙන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සිසිර පෙත්තාහේවා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ගමගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon