කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තැබූ සැකකරුවන් 7 දෙනා යළිත් රිමාන්ඩ්

  👤  3119 readers have read this article !
By mawbima 2018-10-19

බළපිටිය - දම්සරී ලියනගේ

කතරගම කිරි වෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට සැලැසුම් කිරීම සහ වෙඩි ප්‍රහාර එල්ල කළේ යැයි කතරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 7 දෙනා අදාළ රස පරීක්ෂක වාර්තා ලැබී නොමැති බැවින් 2018 ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචන මාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී කතරගම පොලිසියට වැඩිදුරටත් නියෝග කළාය.

ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලය වෙත යවන ලද දෙවැනි සැකකරුගෙන් ලබා ගන්නා ලද අතුල් පතුල් වාර්තා සහ වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බව කියන පළමු සැකකරුට අයත් ජීප් රථයෙන් ලබාගත් අතුල් පතුල් වාර්තාවලට අදාළ වාර්තාව, ඇඟිලි සලකුණු වාර්තා, රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලද වෙඩි තැබීම සඳහා භාවිත කළේ යැයි කියන ගල්කටස් වර්ගයේ ගිනි අවිය හා බෝර 12 තුවක්කුව සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තා පිළිබඳව සොයා බලන ලෙස මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කතරගම පොලිසියට දැනුම් දුන්නේය. සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ තවදුරටත් විමර්ශන සිදුකරන බවද කතරගම පොලිසිය මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), එකම පවුලේ නිවුන් සොහොයුරන් දෙදෙනකු වන ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) සහ ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක (24), මාරපතිරගේ කවිශ්ක දිල්ශාන් නොහොත් කුරුලු (18), ගල්වල ගමගේ අනුරාධ නොහොත් මල්ලි (18), දීපිකා දිල්හානි වීරරත්න (33) සහ ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් (40) රාලහාමි යන සැකකරුවන්ය.

2018 ජුනි මස 12 වැනි දින රාත්‍රි 10.40ට පමණ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු තවත් හිමිවරුන් කිහිප නමක් වෙනදා මෙන් කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ වන්දනා මාන කර ආපසු සංඝාවාසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විහාරාධිපති කොබවක හිමියන් තුවාල ලැබීය.

පළමුවැනි සැකකාර අසේල බණ්ඩාර නමැත්තා වසර ගණනාවක් කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඔහු ඉන් ඉවත් කිරීමට කිරිවෙහෙර නාහිමියන් කටයුතු කිරීම නිසා රුපියල් ලක්ෂ 30ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නායක හිමියන් ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ඔහුගේ පාපෝච්චාරණවලින් හෙළිවන බවද කතරගම පොලිසිය තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීය.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයන් දෙදෙනාට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරීමේ චෝදනා මතත් සෙසු සැකකරුවන් හා සැකකාරිය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කරමින් ඊට ආධාර අනුබල ලබාදී ඇති බවටත් පරීක්ෂණවලදී හෙළි වන බවටත් 1996 අංක 22 දරන ගිනි අවි සංශෝධන පනත යටතේ හා අංක 44 දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේ අංක 102 හා 113 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් මෙම සැකකරුවන් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් එම හේතුවෙන් ගිනි අවි යොදාගෙන මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, ඊට අනුබල දීම හා මනුෂ්‍ය ඝාතනයන් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා අනුව මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් කතරගම පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය. ඉදිරි පරීක්ෂණ සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කතරගම පොලිස් ස්ථානාධිපති අයි.කේ. එස්.යූ. කේ. ලියනගම මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් මනිමෙල්දුර සමන් (28030) ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon