චම්පික දෙවැනි වරටත් අධිකරණයට නොඑයි වර්ණසිංහට එරෙහිව චෝදනා කෙටුම්පතක්

  👤  3223 readers have read this article !
By mawbima 2018-10-19

රාඩා නඩුවේදී දිවුරුම් පිට අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදී අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ජාතික හෙළ උරුමය පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත චෝදනා කෙටුම්පතක් භාර දෙන ලදී.

එම නඩුව ඊයේ (18දා) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පළමුවැනි විත්තිකරු ලෙස නම්කර සිටින රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් මෙම චෝදනා කෙටුම්පත අධිකරණයට භාර දුන්නේය.

චෝදනා පත්‍ර කෙටුම්පත අධිකරණයට භාර දීමෙන් පසුව ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසුව මීට අදාළව කරුණු තහවුරු කිරීමට තමා අපේක්ෂා කරන බවයි.

පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම චෝදනා පත්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මුලින්ම එහි පිටපතක් තමා වෙත ලබාදෙන ලෙසයි. විත්ති පාර්ශ්වය සාධාරණ නඩු විභාගයක් පිළිබඳ නිතරම කතා කරන බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සාධාරණය ඒ ආකාරයෙන්ම පැමිණිලි පාර්ශ්වය වෙතද ඉටුවිය යුතු බව කීවේය.

ඒ අනුව විත්තිය විසින් අධිකරණයට භාරදෙන ලද චෝදනා කෙටුම්පතේ පිටපතක් පැමිණිලි පාර්ශ්වය වෙත ගාස්තු රහිතව ලබාදෙන ලෙස විනිසුරු කළුආරච්චි මහතා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
මෙම නඩුවේ දෙවැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටිනා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සාක්ෂි දීම සඳහා ඊයේ (18දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා දෙවැනි වතාවටත් සිතාසි නිකුත් කර තිබුණද අමාත්‍ය රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රණවක මහතා ජනාධිපතිවරයාගේ අවසරය මත අන්තර්ජාතික සමුළුවකට සහභාගි වීම සඳහා විදේශගතව සිටින හෙයින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

විනිසුරුවරයා
ඇමැතිවරයා විදේශගත වී තිබෙන්නේ කවදාද?

රජයේ නීතිඥවරයා
ඉකුත් 16 වැනිදා බවයි වාර්තා වෙන්නේ ස්වාමීනි.

විනිසුරුවරයා
16 වැනිදා විදේශගත වූයේ නම් මෙම නඩුව විභාගයට ගත් ඉකුත් 10 වැනිදා ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කරන්න තිබුණා.

යනුවෙන් සඳහන් කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නඩුවේ තුන්වැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන කේ. දයානන්ද පෙරේරා මහතාගේ සාක්ෂි සටහන් කිරීම ආරම්භ කරන ලෙස නියෝග කළේය.

එම අවස්ථාවේ සාක්ෂිකාර දයානන්ද පෙරේරා මහතා අධිකරණය හමුවේ පැමිණ නොසිටි අතර රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම සාක්ෂිකරු අධිකරණය වෙත පැමිණෙමින් සිටින බවයි. සාක්ෂිකරු නොමැතිවීම හේතුවෙන් නඩුව පසුව කැඳවීමට නියම කෙරුණු අතර සාක්ෂිකරු අධිකරණ ශාලාවට පෙරවරු 10.45ට පමණ පැමිණීමෙන් පසුව සාක්ෂි විභාගය ආරම්භ විය.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් දයානන්ද පෙරේරා මහතා තමා 2007 වසරේ සිට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කරන බව කීවේය.

රජයේ නීතිඥවරයා
2015 ජනාධිපතිවරණයෙන් පසුව චම්පික රණවක මහතා දැරූ අමාත්‍ය ධුරය කුමක්ද?

සාක්ෂිකරු
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය දැරුවා.

රජයේ නීතිඥවරයා
එම අමාත්‍ය ධුරය ලැබීමෙන් පසුව ඇමැති රණවක මහතා ඔබට කිසියම් ලේඛන වගයක් ලබා දුන්නාද?

සාක්ෂිකරු
බොක්ස් ෆයිල් කවරවලට දැමූ ලේඛන ගොනු 4ක් මට භාර දුන්නා. මම ඒවා ඛ්අ-1, ඛ්අ-2, ඛ්අ-3, ඛ්අ-4 වශයෙන් නම් කළා.

රජයේ නීතිඥවරයා
ඇයි ඔබ එම ලිපි ගොනුවලට ඛ්අ කියා යොදන්න තීරණය කළේ?

සාක්ෂිකරු
මෙම ලේඛන චම්පික ඇමැතිවරයා ලබාදුන් නිසා ඛ්අ යන යෙදුම එහිදී මා භාවිත කළා.

රජයේ නීතිඥවරයා
එම ගොනුවලට ඔබ මොනවද කළේ?

සාක්ෂිකරු
මගේ කාර්යාලයේ සුරැකිව තබා ගත්තා.

රජයේ නීතිඥවරයා
මෙම ලිපි ගොනු සම්බන්ධයෙන් ඇමැතිතුමා කිසියම් උපදෙසක් ලබා දුන්නාද?

සාක්ෂිකරු
ඔව්. පොලිසියෙන් ඉල්ලුවොත් මෙම ලේඛන ලබා දෙන්න කියා ඇමැතිතුමා මට උපදෙස් දුන්නා. එම ලිපි ලේඛන ලබාදී මාස දෙකකට පමණ පසුව තමයි මෙම උපදෙස ලබා දුන්නේ. එම ලේඛන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දීමෙන් පසුව මම ඒ බව ලිඛිතව පොලිසිය වෙතින් අස්සන් කර ලේඛනයක් ලබා ගත්තා.

රජයේ නීතිඥවරයා
මෙම ලිපි ගොනු පොලිසිය වෙත භාර දීමෙන් පසුව ඔබ පොලිසිය වෙත කටඋත්තරයක් ලබා දුන්නාද?

සාක්ෂිකරු
නැහැ ස්වාමීනි.

රජයේ නීතිඥවරු
(ලේඛනයක් පෙන්වමින්) ඔබ පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇති බව මෙම ලේඛනයෙන් තහවුරු වෙනවා නේද?

සාක්ෂිකරු
ඔව් ස්වාමීනි. මට අමතක වුණා. මම කටඋත්තරයක් ලබා දුන්නා.

ඉන් අනතුරුව පළමුවැනි විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ හරස් ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.

විත්තියේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා
මෙම නඩුවට අදාළව ඔබ පොලිසිය වෙත ප්‍රකාශනයක් ලබා දුන්නේ කවදාද?

සාක්ෂිකරු
හරියට මතක නැහැ ස්වාමීනි.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා
එම ප්‍රකාශය ලබා දුන්නේ 2016 වසරේ ජුනි මස 26 වැනිදා කියා මා යෝජනා කළොත්.

සාක්ෂිකරු
මට මතක නෑ.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා
පොලිසිය වෙත භාරදීමට පෙර ලිපි ගෙනු තුළ තිබූ ලේඛන ඔබ කියවා බලා තිබෙනවාද?

සාක්ෂිකරු
උඩින් පල්ලෙන් කියවා බලා තිබෙනවා
විත්තියේ ජනාධිපති නීතිඥවරයා
ඔබ යළි පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් කර තිබෙනවා නම් ඔබ එම ලේඛන කියෙව්වේ නැහැ කියලා. ඒක වැරැදියි නේද?

සාක්ෂිකරු
නැහැ ස්වාමීනි. මම මේ ලේඛන සම්පූර්ණයෙන් කියවා නැහැ. උඩින් පල්ලෙන් තමයි කියවා තිබෙන්නේ.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා
උඩින් පල්ලෙන් කියවපු කතාවක් ඔබ පොලිස් කටඋත්තරයේ සඳහන් කර නැහැ. එහි ඔබ සඳහන් කර තිබෙන්නේ අදාළ ලේඛන ඔබ කියෙව්වේ නැහැ කියලයි.

සාක්ෂිකරු
උඩින් පමණයි බැලුවේ
විත්තියේ ජනාධිපති නීතිඥවරයා
ඔබ ඉන්ජිනේරුවකු බව මූලික සාක්ෂියේදී සඳහන් කළා. ඔබ ඉන්ජිනේරු උපාධිය ලබා ගත්තේ කුමන විශ්වවිද්‍යාලයකින්ද?

සක්ෂිකරු
මට ඉන්ජිනේරු උපාධියක් නැහැ. එන්.ඩී.ටී. සුදුසුකම් ලබා මම ඛනිජතෙල් සංස්ථාවේ සේවයට එක් වුණා. ඉන්පසුව උසස්වීම් ලබා ඉන්ජිනේරු තලයට පැමිණියා.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා
ඒ කියන්නේ ඔබ තාක්ෂණ නිලධාරියෙක්.

සාක්ෂිකරු
ඔව් ස්වාමීනි.
විත්තියේ ජනාධිපති නීතිඥවරයා
2014 වසරේ දෙසැම්බර් මස 01 වැනිදා චම්පික රණවක මහතා ඇමැති ධුරයක් දැරුවාද?

සාක්ෂිකරු
මතක නැහැ ස්වාමීනි.
විත්තියේ ජනාධිපති නීතිඥවරයා
2015 ජනවාරි මස 01 වැනිදා රණවක මහතා ඇමැති ධුරයක් දැරුවාද?

සාක්ෂිකරු
හරියටම කියන්න බෑ ස්වාමීනි.
විත්තියේ ජනාධිපති නීතිඥවරයා
2007 වසරේ සිට චම්පික රණවක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ බව කීවා. එහෙත් රණවක මහතා ඇමැතිධුර දැරූ කාල සීමා ගැන කියන්න බැහැ.

සාක්ෂිකරු
එහෙම කියන්න මට මතකයක් නැහැ ස්වාමීනි.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා
ඔබ පොලිසියට බොක්ස් ෆයිල් කවරවලට දමා ලේඛන භාරදුන් බව කිව්වා. ඔබගේ ඉන්ජිනේරු දැනුම භාවිත කරලා අධිකරණයට කියන්න පුළුවන්ද මෙම ගොනුවෙන් යම් කෙනකුට ලේඛන ගලවා ඉවත් කරන්න හෝ අලුතින් ලේඛනයක් ඇතුළු කිරීමට හැකියාවක් තිබෙන බව.

සාක්ෂිකරු
මට ඒ ගැන කියන්න බැහැ ස්වාමීනි.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා
ඔබ ඉන්ජිනේරුවරයකු බව ප්‍රකාශ කළා. ඉතින් ඔබට හැකියාවක් තිබිය යුතුයි මා අසන ප්‍රශ්නයට අදාළව පිළිතුරක් ලබාදෙන්න.

සාක්ෂිකරු
මට එහෙම පිළිතුරක් ලබා දෙන්න බැහැ ස්වාමීනි. මම අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියටයි.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 11 වැනිදා තෙක් කල් තැබිණි.
මෙම නඩුවේ පළමුවැනි විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා සමඟ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටී.

අධිකරණය මඟහැර සිටින නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඇන්තනී චමිල්කාන්තන් වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටින අතර තුන්වැනි විත්තිකාර සාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටී. හතරවැනි විත්තිකරු වූ ජයන්ත ඩයස් සමරසිංහ මහතා වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

කේ.එස්. උදයකුමාර්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon