සුරක්ෂා රක්ෂණාවරණය හරහා කෝටි ගණනක මුදල් වංචාවක් සිදුවෙලා

  👤  3247 readers have read this article !
By mawbima 2018-10-19

සවනි ශේශාධි

සුරක්ෂා රක්ෂණාවරණය හරහා රුපියල් කෝටි ගණනින් මූල්‍ය වංචාවන් සිදුව ඇතැයි උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුව හෙළි කරයි. සුරක්ෂා රක්ෂණාවරණය ආරම්භක සමයේ එජාප මාධ්‍ය අංශයට සම්බන්ධ ප්‍රබලයකුගේද නම සඳහන් කරමින් චෝදනා කරන හෙතෙම පවසනුයේ දරුවන්ට සුදුසු දෙයක් වුවද සුරක්ෂා රක්ෂණය මේ වන විට මාෆියාවක් බවට පත්ව ඇති බවයි.

තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවැසීය.

'සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් අපේ කිසිදු විරෝධතාවක් නැහැ. සුරක්ෂා රක්ෂණාවරණය අතිශය පොදු වැඩක්. නමුත් මේක අතිශය බරපතළ මගඩියක් බවට පත්වෙලා ඉවරයි. රක්ෂණ සංස්ථාව හරහා අවිධිමත් ගසා කෑමේ ක්‍රමවේදයක් හරහා මේක ජනගත කරන්න හදන්නේ හොඳ වැඩක් විදියට. 2017 අවුරුද්දේ මේක පටන් ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හා සම්බන්ධ ප්‍රධානියෙක් තමයි මාධ්‍ය කටයුතු භාරව සිටියේ. ඔහු මාස තුනක් ඇතුළත සමස්ත මාධ්‍යයේ ප්‍රචාරය කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 645ක බිලක් ගෙනැත් දෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ලක්ෂ දෙසීය විසි හතරක් ගෙවනවා. ලක්ෂ හයසිය හතළිස් පහක බිලක් ගෙනැත් දුන්නාම ලක්ෂ දෙසීය විසි හතරක් ගෙවන්නේ කොහොමද? ඇත්තටම ලක්ෂ හයසිය ගාණක් වියදම් කළා නම් රුපියල් ලක්ෂ දෙසීය විසි හතරක් ගෙවලා බේරෙන්න පුළුවන්ද. මොකක් හරි මගඩියක් තියෙනවා කියලා පැහැදිලියි.

අපි වගකිවයුතු වෘත්තීය සමිතියක් විදියට කියනවා ලක්ෂ 25කට වඩා මාධ්‍ය කැම්පේන් එකක් මෙයාලා කළේ නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය තමයි පත්තරවල දැන්වීම් දැම්මේ.

සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවන් වියදම් කරපු මිලියන තුන්දාහක මුදල ස්ථාවර තැන්පතුවක් විදියට මේ රටේ පිළිගත්ත බැංකුවක දැම්මා නම් අවුරුද්ද අවසානයේ රුපියල් මිලියන තුන්සිය තිහක පොළියක් හරි ලැබෙනවාද. මේක ඇතුළේ අති දැවැන්ත වංචාවක් සිද්ධ වෙනවා.

අමාත්‍යවරයා ඇතුළු මේ
විෂය භාර අධ්‍යක්ෂිකාව ආදී සියලු දෙනා අති දැවැන්ත ගසාකෑමක් සිද්ධ කළා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon