ඇමැති ජෝන් අමරතුංගගේ පාර්ලිමේන්තු දිවියට වසර 40යි

  👤  3169 readers have read this article !
By mawbima 2018-10-19

මෙරට දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකින් තොරව පත් කරන ලද ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වීමේ අති විශිෂ්ට වරම ලද ජෝන් අමරතුංග මැතිතුමාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට අද (19) වැනි දිනට 40 වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් ඔක්තෝබර් මස 21දා පස්වරු 3ට පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් වත්තල පුරහලේදී විශේෂ සුබ පැතීමේ උළෙලක් වත්තල ජනතාව විසින් සංවිධාන කොට ඇත.

1977 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හයෙන් පහක අති විශිෂ්ට වාර්තාගත ජයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් පිහිටුවන ලද ශක්තිමත් රජයේ තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍ය ධුරය හිමි වූයේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් වත්තල ආසනය ජයග්‍රහණය කළ ෂෙල්ටන් ජයසිංහ මැතිතුමාටය. එහෙත් වැඩි කලක් යන්නට පෙර එතුමාගේ හදිසි වියෝව සිදු වූයෙන් එම හිඩැස පිරවීමට අතුරු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවූයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව "කිසියම් මන්ත්‍රි ධුරයක් හිස් වූ අවස්ථාවකදී අතුරු මැතිවරණයකින් තොරව පක්ෂය විසින් එම හිඩැස පිරවිය යුතුවේ" යන්න සඳහන් වන නිසාය.

ඒ අනුව පක්ෂය විසින් ගන්නා ලද තීරණයකට අනුව ජෝන් අමරතුංග මැතිවරණයකින් තොරව වත්තල ආසනයේ මන්ත්‍රිවරයා වශයෙන් පත් කෙරුණේ මෙරට දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකින් තොරව පත් කෙරුණු ප්‍රථම මන්ත්‍රිවරයා වීමේ ගෞරවයද ඔහුට හිමි කර දෙමිනි. ඒ 1978 ඔක්තෝබර් මස 19 වැනිදාය.

1940 මැයි මස 21දා මෙලොව එළිය දුටු ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග මහතා ආගමික වශයෙන් කිතුනු බැතිමතෙකි. හයසින්ත් මාලනී අමරතුංග මැතිනියගේ ස්වාමිපුරුෂයා වන ඒ මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි. ක¼දාන ද මැසනෝද් සහ කොළඹ ශාන්ත ජෝෂප් පාසල් එතුමා මූලික අධ්‍යාපනය ලැබූ පාසල්ය. ඇක්වයිනාස් සරසවි විදුහල සහ කොළඹ නීති විදුහල එතුමා වැඩිදුර අධ්‍යාපනය ලැබූ අධ්‍යාපනික ආයතනයි. වෘත්තියෙන් නීතිඥවරයකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු හා නිල නොලත් මහෙස්ත්‍රාත්වරයකු වශයෙන්ද එතුමා කටයුතු කරයි.

ගතවූ හතළිස් වසරක කාලසීමාව තුළදී එතුමා විසින් හොබවා ඇති තනතුරු සංඛ්‍යාව අති විශාලය. කෝප් කමිටු සභාපති, මුදල් රාජ්‍ය අමාත්‍ය, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, පළාත් සභා රාජ්‍ය අමාත්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍ය, වැඩ බලන ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය, වැඩ බලන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, වැඩබලන විපක්ෂ නායක, ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඇතුළු තනතුරු ගණනාවක් ගත වූ කාල සීමාව තුළදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා විසින් හොබවා ඇත.

තවද එක්සත් ජාතීන්ගේ දකුණු ආසියානු ලෝක සංචාරක සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද ජෝන් අමරතුංග අමාත්‍යවරයාය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික, එජාප වෘත්තීයවේදීන්ගේ සංගමය හා එක්සත් ජාතික පක්ෂ ජාත්‍යන්තර සාමාජිකත්ව කටයුතු පිළිබඳ සභාපතිවරයා වශයෙන්ද එතුමා කටයුතු කරයි.

ජෝන් අමරතුංග මැතිතුමාගේ 40 වසරක දේශපාලන දිවි ගමනට සුබ පැතීමේ ප්‍රධාන උත්සවය ඔක්තෝබර් මස 28 වැනි ඉරු දින පස්වරු 4ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමැති සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජෝන් අමරතුංග ඇමැතිතුමා කතෝලික බැතිමතකු වුවත් සෙසු ආගම්වලටද මුල්තැන දෙමින් කටයුතු කරන ආකාරයද අති විශිෂ්ටය.

මේ නිසාම එතුමා වත්තල මැතිවරණ කොට්ඨාසයේ සෑම ආගමික නායකයකුගේම පැසසුමට ලක්වී ඇත. එතුමා විසින් පිහිටුවා ඇති ජෝන් අමරතුංග පදනම මඟින් වත්තල මැතිවරණ කොට්ඨාසයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබාදී ඔවුන්ට රැකියා අවස්ථා සලස්වා දීමෙන් ඔවුන්ගේ ආදායම් සලස්වා වැඩි දියුණු කරලීමට කටයුතු කර ඇති ආකාරය පැසසුම් සහගතය. එතුමාගේ පාලන කාලය තුළදී වත්තල මැතිවරණ කොට්ඨාසය තුළ නව පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමත්, වත්තලට ආර්ථික මධ්‍යස්ථානයක් ලබාදීමටත් නව උසාවි සංකීර්ණයක් ඉදි කිරීමටත් මහා මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමටත් කටයුතු කළ බවත් මෙහිලා සඳහන් කිරීම වටී.

සති අන්තයේදී හා සෑම රජයේ නිවාඩු දිනකදීම ජෝන් අමරතුංග මහතා තම ක¼දාන කාර්යාලයේදී ජනතාව හමුවීමත්, ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කිරීමත්, ජනතාවගේ ප්‍රශංසාවට භාජන වී ඇති විශේෂ කාරණයක් වේ.

මෙවන් විශිෂ්ට සේවාවන් රැසක් වත්තල මැතිවරණ කොට්ඨාසයටත් අමාත්‍යවරයකු වශයෙන් පොදුවේ මුළු රටටත් ඉටු කළ ජෝන් අමරතුංග මැතිතුමාට ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තව තවත් සේවය කරන්නට හැකියාව හා අවස්ථාව ලැබේවා යන්න කාගෙත් එකම පැතුමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon