බන්ධනාගාරයේදී මගේ ජීවිතයට අනතුරක් කරන්න සැලැසුමක් තිබුණාදැයි සැකයි

  👤  3366 readers have read this article !
By mawbima 2018-10-19

සිරකරුවන් 752ක් සිටින පර්චස් 80ක පිහිටි කුඩා ගොඩනැඟිල්ලක මාව තියාගෙන බන්ධනාගාරයේ නිලධාරීන් මාරු කරලා මොනවා හරි හානියක් මට කරන්න ඔවුන් බැලුවාද කියා මට සැකයක් තිබුණා යැයි හිටපු ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තමාගේ නඩුවෙන් නිදහස් වී කෑගල්ල බන්ධනාගාරයට පැමිණ එහි කටයුතු අවසන් කර පිට වී යෑමේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, මෙහි මා සිටින විට බන්ධනාගාර රැඳවූවන්ගේ ඇඳුම් ගලවලා ඔවුන් පරීක්ෂණයකට භාජනය කළා. මානුෂිකත්වයක් තිබුණේ නෑ. මහා පීඩනයක් තිබුණේ. මෙය කළේ පිටතින් පැමිණි නිලධාරීන්. මේක හරිම වැරැදි වැඩක්.

ආණ්ඩුව මට නඩු දැම්මා. බොරු සාක්ෂි හැදුවා. දෙවතාවක් දින 44ක් මා මෙහි රක්ෂිත බන්ධනාගාර කර තිබුණා. දෙපාරක් දඬුවම් වින්ද මම අධිකරණයේ ස්වාධීනත්වය නිසා නිදහස් වුණා. හැබැයි මේක කාටවත් දෙන්න හොඳ නැහැ. මේ ආණ්ඩුව කරන්නේ සම්පූර්ණයෙන්ම බොරු නඩු හදන එක. රට හදන එක නෙවෙයි. ඔවුන් නඩු හද හදා තමන්ට අභියෝගයකට ලක්වන දේශපාලනඥයන්, රණවිරුවන්, රජයේ නිලධාරීන්ට නඩු දාලා කාලකණ්ණි සතුටක් ලබනවා. ඒක තමයි සැබෑ කතාව.

මෙහි අධිකාරිවරයා මාත් එක්ක එක පාසලේ ඉගෙන ගත්තේ. හොඳ නිලධාරියෙක්. මා එන්න දවස් දෙක තුනකට කලින් මාරු කර යැව්වා. ඇත්ත වශයෙන්ම ඒක වැරැදියි. ඔවුන් කරන්න ඕනෑ අපේ ආරක්ෂාව බලන්න ඕනෑ. මම හිටියේ සිරකරුවන් 752ක් සිටි පර්චස් 80ක පිහිටි ගොඩනැඟිල්ලක. මන්ත්‍රිවරයෙක් ඉන්නකොට මම කියන්නේ නැහැ විශේෂ වරප්‍රසාද දෙන්න කියලා. අපි අපේ ආරක්ෂාව ගැන බලන්න ඕනෑ. මට දැඩි අවිශ්වාසයක් තිබෙනවා මේ නිලධාරීන් මාරු කරලා මොනවා හරි හානියක් කරන්න ඔවුන් බැලුවේ. මේක තමයි ඇත්ත.

නඩුවේ සාක්ෂි ඔක්කොම බිඳ වැටෙද්දී, එෆ්.සී.අයි.ඩී.යේ හොර වැඩ එළියට එද්දී කොහොම හරි පටලවා මාව හිරේට දමන්න හැදුවේ. අපි කනගාටු වෙන්න ඕනෑ යහපාලනය කියන වචනය දාගෙන සම්පූර්ණයෙන්ම කරන්නේ හොර වැඩ. යහපාලනය ඉස්සරහට දාලා. මහ බැංකුව හොරකම් කළා බොරු සාක්ෂි හදලා බොරු නඩු දමනවා. මේ රටට වැඩ කරනවා නොවෙයි.

හොරා, හොරා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට පහර දුන්නා. මේවා තමයි දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ.

මොවුන් අමු අමුවේ හොරකම් කරනවා. මාධ්‍ය ඉදිරියේ ඒවා හෙළි වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා එහෙම කළේ නැහැ. අපේ ආණ්ඩුවට එහෙම චෝදනා එල්ල වුණේත් නැහැ. හොර එළි කරන කොට දැන් මාධ්‍යට බනිනවා. අපේ ආණ්ඩුවට විරුද්ධව කටකතා තමයි තිබුණේ. ඒවා නිර්මාණය කළේ මංගල සමරවීර. මේ කට කතා ඔස්සේ ගිහිල්ලා තමයි බොරු නඩු දාන්නේ. බැසිල්ට, ගෝඨාභයට නාමල්ට, විමල්ට දාලා තියෙන්නේ බොරු නඩු. මේ අපරාධය ගැන හොයන්න වෙනම කොමිසමක් දාන්න ඕනේ.

මේ වාගේ දේවල් ලංකාවේ සිදු වෙන්න දෙන්න හොඳ නැහැ. ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ මහජනතාවට සහන ලබා ගන්න, රැකී රක්ෂා දෙන්න. ඒවා නොවේ මේ ආණ්ඩුව කරන්නේ. සම්පූර්ණයෙන්ම යහපාලන බෝඩ් එක ගහගෙන අමු දවල් හොරකමේ යන ආණ්ඩුව, හොරකම් වහගන්න මඩ ගහනවා හිටපු නායකයාටයි පැවැති ආණ්ඩුවටයි.
ඒ නිසා අපි මාධ්‍යට විශේෂ ස්තූතියක් කරනවා අද මාධ්‍යයෙන් කරන දේවල් ගැන. අපි ඉවසීමෙන් අහන් ඉන්නවා.

අගමැතිතුමා මාධ්‍ය ආයතනවල නම් කියලා, මාධ්‍යකරුවන්ගේ නම් කියලා තර්ජනය කරනවා. මේක තමයි මාධ්‍ය මර්දනය කියන්නේ. තමන්ගේ වැරැදි හෙළි කරන මාධ්‍යවලට පහර දෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කවදාවත් මාධ්‍යවේදීන්ගේ නම් කියලා තර්ජනය කරලා නැහැ. අද තමයි නියම මාධ්‍ය මර්දනය සිදුවෙන්නේ. ඒක පැහැදිලියි.

බොරුවට ආයුෂ නෑ. අද සත්‍ය ජයග්‍රහණය කරලා තියෙනවා. දාලා තියෙන සියලුම නඩු බොරු නඩු. අවුරුදු 15, 20 තිබෙන නඩු තාම ඉවරයක් කරගන්න බැරිව තිබෙනවා. අලුත් උසාවි හදලා ඔවුන්ට විරුද්ධ වෙන අය තමයි ඒ උසාවිවලට ගෙනල්ලා බලපෑම් කරලා පහර දෙන්න හදන්නේ.

මොනවා කරත් ආණ්ඩුවට රටේ ජනතාවගේ ජනමතය වට්ටන්න බෑ. පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ඒක ඔප්පු කරලා පෙන්නුවා. මොනවා කරත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් ඉදිරියට එනවා.


අධිකරණය ගැන අපේ විශ්වාසයක් තිබුණා. අධිකරණය ස්වාධීනත්වය ආරක්ෂා කළා. අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණය අපක්ෂපාතී තීන්දුවක් ලබාදීම ගැන හිස නමා ආචාර කරනවා යැයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

තමන්ට ධෛර්යය දුන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා මන්ත්‍රිවරියන්ට, පක්ෂ නායකයන්ට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මා වෙනුවෙන් කවදත් සිටින ජනතාවට තමන්ගේ කෘතවේදීත්වය පළ කරන බවද ඔහු කීය.

කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ, කෑගල්ල -
ඒ. සේනාරත්න, කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon