දෙමළ ජනතාව රැකගන්න නම් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ

  👤  3215 readers have read this article !
By mawbima 2018-10-19

උතුරු පළාතේ අහිංසක ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස කටයුතු කිරීමට විශාල ශක්තියක් ඇති විකල්ප දේශපාලන කණ්ඩායමක් වහාම ස්ථාපිත නොකළහොත් දෙමළ ජනතාවගේ අපේක්ෂා මෙන්ම අයිතිවාසිකම් සියල්ල මුළුමනින්ම විනාශ වී යන බව, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවසක්ති ආනන්දන් පැවැසීය.

මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ වවුනියාවේ මනිපුරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

තවදුරටත් කතා කළ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලීමට කිසිදු හැකියාවක් නොමැති බව දැන් ඔප්පු වෙමින් පවතින බවයි.


එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සම්පන්දන් මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වුවත් ඔහු කොතරම් ප්‍රබල දේශපාලනඥයකු වුවත් ඒ පක්ෂය වටා සිටින සෙසු පිරිසට අවශ්‍යව ඇත්තේ දෙමළ ජනතාවගේ වුවමනා එපාකම් ඉටු කිරීම නොව රජයේ අවශ්‍යතා ඉටු කිරීම පමණයි.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි ජයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. ඒත් මේ වන විට උතුරු පළාත් සභාවේ පිරිස දේශපාලනමය වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා විවේචනය කර ගනිමින් සිටිනවා මිස ඔවුන් ජනතාවට සේවයක් කරන්නේ නෑ.

මේ නිසා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට ඔවුන් වෙනුවෙන් අනාගතයක් සකස් කිරීමට නම් ඉතා ශක්තිමත් මෙන්ම බලසම්පන්න විකල්ප දේශපාලන කණ්ඩායමක් සැකසීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි.


දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට පොරොන්දු වූයේ ආණ්ඩුව ලවා ව්‍යවස්ථාව සංශෝධනය කොට ඒ තුළින් උතුරු නැඟෙනහිර පළාත් දෙක එකට එකතු කොට ඒකීය රාජ්‍යයක් ඔස්සේ දෙමළ ජනතාවට බලය ලැබෙන ක්‍රමයක් සකස් කොට දෙන බවට වුවත්, මේ වන විට දෙමළ වැසියන්ගේ එම බලාපොරොත්තු පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ කයිවාරුවටද පහර වැදී තියෙනවා.

එවැනි පසුබිමක් මත ආණ්ඩුවේ අරමුණු සපුරාලීම සඳහා පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සමඟ දෙමළ ජනතාව තවදුරටත් රැඳී සිටීමෙන් පලක් වෙන්නේ නෑ. හැකි ඉක්මනින් විකල්ප දේශපාලන කණ්ඩායමක් උතුරු පළාතේ බිහි කිරීම ගැන අවධානය යොමු කළ යුතු වෙනවා.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon