ත්‍රි මලේ තෙල් ටැංකි අපි විකුණන්නේ නෑ

  👤  3188 readers have read this article !
By mawbima 2018-10-19

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාවක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි.

තවද ආයෝජකයන් සමඟ එක්ව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවත් රටට අවාසිදායක ගිවිසුම්වලට එළැඹීම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු අවධාරණය කළේය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ 17 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ අයිතිය තියෙන්නේ රජයට. එහි තෙල් ටැංකි 100ක් තියෙනවා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවෙන් අපි පළමුව ඉල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩමේ අයිතිවාසිකම රජයටම තියාගෙන අලුත් ගිවිසුමට යන්න.

දෙවැන්න දැනට ඉන්දීය ඔයිල් සමාගම පාවිච්චි කරන ටැංකි ඒගොල්ලන්ටම ලබා දෙන්න. ඉතිරි ටැංකි අසූපහ ඉන්දීය ඔයිල් සමාගමත් තෙල් සංස්ථාවත් එක්ව පිහිටුවන පොදු සමාගමකින් සංවර්ධනය කිරීමට.

තෙවැනුව ඉල්ලා තිබෙනවා එසේ සංවර්ධනය කරන තෙල් ටැංකි 85න් 16ක් තෙල් සංස්ථාවටම පවරා ගැනීමටත් මම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙනවා. නැව්වලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය කිරීමට එයින් අප බලාපොරොත්තු වෙනවා. දේශයේ තෙල් ඊට අමතරව උතුරු නැඟෙනහිර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඇති කරන්නටත් අපේක්ෂා කරනවා.

මොකද අපිට කොළඹ සිට උතුරු නැඟෙනහිරට තෙල් ප්‍රවාහනයේදී විශාල මුදලක් වැය වනවා. නමුත් ත්‍රිකුණාමලයේ සිට එම ප්‍රදේශවලට ඉන්ධන බෙදාහැරීමෙන් විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙන්නේ කාලසීමාවකට. ඒ කැබිනට් මණ්ඩලය තීරණය කරන කාලයකට. ඒක මම තීරණය කරන කාලයකට නෙමෙයි."

චාමර අමරසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon