අත් නැති නිසා කෑම කන්නත් බෑ කකුල් නැති නිසා පුතාට ඇවිදින්නත් බෑ

  👤  3388 readers have read this article !
By mawbima 2018-10-19

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

උපතින්ම දෙඅත් සහ දෙපා නිසි පරිදි වැඩී නොමැති තම දරුවා සුව කර ගැනීමට සහ දරු පවුල සමඟ වාසය කිරීමට සුදුසු බිමක් ලබා දීමට කිසියම් අයකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය විශාල පින් කමක් බව තෝපූර් - ඇල්ල නගර් පදිංචිකරුවකු වන කාලි මොහොමදු මොහොමඩ් ෆජීර් මහතා ඉල්ලීමක් කරයි.
ෆජීර් මහතාට සහ ඔහුගේ බිරිය වන අබ්දුල් රහුමාන් සර්ෆා අඹු සැමියන්ට දරුවන් හය දෙනෙකි. ඔවුන් අතරින් බාලයා පිරිමි දරුවෙකි. ඔහු උපතින්ම ආබාධිත දරුවෙකි. මෙම දරුවාගේ දෙඅත් සහ දෙපා නිසි පරිදි වැඩී නැත.

සෙසු දරුවන් පස් දෙනා ඥාතීන් භාරයේ තබා ඇති මෙම අඹු - සැමියන් ආබාධිත දරුවා සුව කර ගැනීමට සහායක් බලාපොරොත්තුවෙන් රට වටා ගමන් කරමින් සිටී. ඒ අතර තුර අපට ඔවුන් පුත්තලම නගරයේදී හමු විය.
ෆජීර් මහතා මෙසේ අප සමඟ පැවැසීය,

"අපිට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. අපි දෙන්නාම හරිම දුප්පත්. අපිට ඉන්න හිටින්න තැනක් නැහැ. මේ වෙන කොට දරුවෝ තුන් දෙනෙක් පාසල් යනවා. ඒ අය ඉන්නේ බිරියගේ ඥාතීන් ළඟ. අපි හැම තැනකම යන්නේ මේ දරුවා සුව කර ගන්න ක්‍රමයක් හොයාගෙනයි.

අපිට පදිංචි වෙන්න ගෙයක් හදා ගන්න ඉඩම් කෑල්ලක් දෙන්න කියලා දන්න කියන අය ළඟට ගිහින් කිව්වා. දේශපාලකයන් ළඟට ගියා. නිලධාරීන් ළඟට ගියා. ඒ කිසිම කෙනෙක් අපිට සවන් දුන්නේ නෑ. ඒ අය කියන්නේ කලින් ලියාපදිංචි වෙලා ඉන්න අයට පමණයි ඉඩම් දෙන්න පුළුවන් කියලා.

මේ පුතාට ඇවිද ගන්න බැහැ, මොකද කකුල් දෙකක් නැති නිසා. කෑම කන්න විධියක් නැහැ අත් නොමැති නිසා. අපි තමයි දරුවාගේ සියලුම දේවල් කරන්න ඕනේ. ඇතැම් අය කිව්වා ජනාධිපතිතුමා හමු වෙන්න යන්න කියලා. ඒත් එතනට යන ක්‍රමයක් දන්නේ නෑ. අපිට යන්න සල්ලිත් නැහැ. මේ දරුවා සුව කර ගන්න උදවු කරන්න හැකි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපිට දරුවොත් එක්ක පදිංචි වෙන්න පුංචි ඉඩම් කෑල්ලක් ලබා දෙන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් ඒක ලොකු පිනක්. අපිට යන්න තැනක් නැති නිසා කොහේ හරි අගු පිළක නැවතිලා තමයි දරුවා වෙනුවෙන් මේ මහන්සි වෙන්නේ" හෙතෙම කියා සිටියේය.

කාලි මොහොමදු මොහොමඩ් ෆජීර් මහතාගේ දරුවා සුව කර ගැනීමට සහ ඔවුන්ට පදිංචිවීමට ස්ථානයක් ලබාදීමට හැකියාවක් ඇති අයකු වේ නම් 071-8735595 දුරකථන අංකයට කථා කළ හැකිය. යම් ආධාරයක් කරන්නේ නම් මහජන බැංකුවේ තෝපූර් ශාඛාවේ ඔවුන් විසින් පවත්වා ගෙන යන 233200120016846 ගිණුමට මුදල් ලබා දීමට හැකියාව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon