ආනයනය සීමා කළ හැකි භාණ්ඩ ගැන සොයා බලා වාර්තාවක් දෙන්න - ජනපති මුදල් අමාත්‍යාංශයට කියයි

  👤  1362 readers have read this article !
By mawbima 2018-10-17

ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ දෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව ඊයේ (16දා) රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යෑම සමඟ මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වී ඇත.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික ආර්ථික සභාවේ විශේෂ අවදානය යොමුව තිබේ.

දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කොට පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව ඇත.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම, පාලනය කිරීම මඟින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මඟින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බවද මෙහිදී ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ප්‍රකාශ ඇත.

දේශීය ව්‍යාපාරිකයන් සහ
නිෂ්පාදකයන් මුහුණ දී ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙවර ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු කෙරිණි. සීනි ආනයනකරුවන් වර්තමානයේ මුහුණ දී ඇතැයි පැවැසෙන ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණු අතර වර්තමාන පාලන මිලට සීනි දීමේදී විශාල වශයෙන් පාඩු විඳීමට සිදුවන බව ඔවුහු පෙන්වා දී ඇත.

දේශීය පලතුරු බීම කර්මාන්තකරුවන්ගේ ගැටලුද ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක්විය. පලතුරු බීමවල අඩංගු සීනි ප්‍රමාණය මත පනවා ඇති බදු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දේශීය පලතුරු
නිෂ්පාදකයන්, පලතුරු ගොවීන් සහ බීම නිෂ්පාදකයන් දිරිමත් කරමින් ඔවුන්ට වැඩි අවස්ථා ලබාදීමේ නිසි ක්‍රමවේදයක් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කර එහි වාර්තාවක් ජාතික ආර්ථික සභාවට ලබාදෙන මෙන් නිර්දේශ කෙරිණි.

ආනයනය කරනු ලබන ත්‍රිත්ව සුපර් පෝස්පේට්වලට ආදේශකයක් වශයෙන් එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් සිංගල් පොස්පේට් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් පිළිබඳවද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු විය. එමඟින් පොහොර සඳහා විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ඉතිරිකර ගත හැකි බව විශේෂයෙන් අවධාරණය කෙරිණි.

වරායට ගෙන එන භාණ්ඩ
නිෂ්කාශනය සිදු කිරීමේදී ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර දැනට ඒ සඳහා ක්‍රියාත්මක ක්‍රමවේදය වන අහඹු ලෙස බහාලුම් පරීක්ෂා කිරීම වෙනුවට සියලු බහාලුම් පරීක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබිණි. ඒ අනුව වර්තමාන තත්ත්වය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහ

ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්,
මුදල් අමාත්‍යාංශයේ ලේකම්
ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග,
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේ‍යෂ්ඨ
නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මීට එක්ව සිටි අතර දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන්ද මෙවර ජාතික ආර්ථික සභාවට කැඳවා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon