මාලපල්ල ගුවන් පාලම මතදී ලොරියක ගැටුණු යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියයයි

  👤  2948 readers have read this article !
By mawbima 2018-10-17

පන්නිපිටිය - හෂාන් පුෂ්පික

කොට්ටාව - අතුරුගිරිය මාර්ගයේ මාලපල්ල ගුවන් පාලම මතදී ලොරි රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක රිය අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව මාලපල්ල නුගගහලන්ද පදිංචිව සිටි දුලාජ් සම්පත් ඇල්විටිගල (27) නමැති ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.

අතුරුගිරිය දෙස සිට ද්විත්ව මංතීරුව කපාගෙන මාර්ගයේ විරුද්ධ දෙසින් කොට්ටාව දෙසට පැමිණි ලොරි රථයක් කොට්ටාව දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගැටී මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

ලොරි රථයේ ගැටුණු යතුරුපැදිය කුඩුපට්ටම් වී ඇති බව පැවැසේ.

ලොරි රථයේ ගැටුණු යතුරුපැදිය ලොරි රථයද සමඟ ඉදිරියට ඇදී ඒමත් සමඟ යතුරුපැදිය සහ පැදිකරු ලොරි රථයේ යට සිර වී සිටි බව පොලිසිය කියයි. පසුව පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීම සඳහා ලොරි රථය යට සිට එළියට ගැනීමේදී මියගොස් සිටි බව පොලිසිය පවසයි.

අනතුර සිදුකළ ලොරි රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කිරීම අනතුරට හේතුව බැවින් අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරු අද (17දා) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.

කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් සැරයන් පියරත්න (6902), පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (35160), රුක්‍ෂාන් (32059) නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon