එජාප ප්‍රබලයකු අක්කර 123ක රජයේ ඉඩම් ඥාතීන්ට දීලා -නාමල් කරුණාරත්න

  👤  3035 readers have read this article !
By mawbima 2018-10-17

අනුරාධා හේරත්

රජයට අයත් අක්කර 123ක ඉඩමක් විධිවිධානවලින් තොරව එජාප ප්‍රබලයකුගේ ඥාතීන් දෙදෙනකුට පවරා ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අනාවරණය කරයි.

මේ පිළිබඳව 'මව්බිම'ට කරුණු හෙළි කළ කරුණාරත්න මහතා පැවැසුවේ එකී අක්කර 123 ඉඩම රජයේ ඉඩමක් බවට 2018.09.18 දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති නමුත් මේ දේශපාලන ප්‍රබලයාගේ ඥාතියකු වන අර්ජුන් ඉන්ද්‍රජිත් ගුණරත්න නමැත්තා ඊට අයිතිවාසිකම් කියන බවය.

අදාළ ඉඩම පිළිබඳ ප්‍රදේශයේ ජනතාව විසින් පසුගිය 13 වැනිදා ප්‍රශ්න මතුකර ඇති අතර හදිසියේම ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එහි සඳහන් කර ඇත්තේ එම ඉඩම අර්ජුන් ඉන්ද්‍රජිත් ගුණරත්න හා අමිතලාල් ගුණරත්න යන දෙදෙනාට හිමි අතර පෙර පැවැති පරිපාලන දෝෂයක් නිසා ගැටලුවක් ඇති බවට ඔහුගේ නිරීක්ෂණයන්ට අනුව පෙනී යන බවත් එහි දන්වා ඇතැයි කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

එකී ඉඩම කුරුණෑගල කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අතර එකල සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ අක්කර 50ට වැඩි ඉඩම් රජයට පවරාගත්තා සේම මෙයද එසේ පවරාගත් ඉඩමක් බවය.

ඒ අනුව රොසලින්වත්ත නොහොත් ගල්වැටිය වත්ත යන එම ඉඩම එවකට ඉඩම් ඇමැතිව සිටි ගාමිණී දිසානායක විසින් අංක 180/5 1982 පෙබරවාරි 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් රජයට පවරාගෙන ඇත.

අනතුරුව ඉඩම් කට්ටි 157කට වෙන් කර ඇති නමුත් එය කැබලි කර ජනතාවට බෙදා දී නොතිබිණි. වාර්තා වන අන්දමට කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 800 දෙනකුට ඉඩම් නොමැති බවද දැනගන්නට ඇත.

කෙසේ නමුත් එම ඉඩමෙහි මැනීම් කටයුතු කරන සමයේ අයිතිවාසිකම් නොකී අදාළ අර්ජුන් ගුණරත්න නමැත්තා මේ වනවිට පවසන්නේ එම ඉඩම ඔහුගේ පියාගේ සමයේ බදුල්ල ප්‍රදේශයේ තේ ඉඩමකට මාරු කරන විට අතපසු වීමක් සිදුවූ බව යැයි නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව 'තොරතුරු දැනගැනීමේ පනත' හරහා කරුණු විමසීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරි දැනුම් දුන්නේ එය රජය සතු ඉඩමක් බවත්, වත්මන් ඉඩම් ඇමැතිවරයා හදිසියේ ගැසට් පත්‍රයක් මඟින් එය අදාළ පුද්ගලයන්ට අයත් යැයි සඳහන් කිරීමට උත්සාහ කළේ ඉහළින් ආ බලපෑමක් නිසාවෙන් විය හැකි බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon