ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට එරෙහිව විමල්ගෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක්

  👤  2961 readers have read this article !
By mawbima 2018-10-17

හර්ෂනී අර්සකුලරත්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ 1979 අංක 48 දරන පනත (තාවකාලික විධිවිධාන පනත) අහෝසි කරමින් ගෙන ඒමට නියමිත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදයට අනුබල දීමක් හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පතට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පසුගියදා (15දා) කටයුතු කොට තිබේ.

මේ පනත මඟින්, පෙර පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා ගණයෙහිලා ගැනෙන වරදවල් සඳහා ලබා දුන් දඬුවම් කාලසීමාවන් ලිහිල් කර තිබීම මෙන්ම 'මිනී මැරීම' යන වරදට දණ්ඩ නීති සංග්‍රහයෙහි මරණ දඬුවම නියම කර තිබියදී මේ පනත යටතේ ත්‍රස්වාදී කණ්ඩායමක් විසින් සිදුකරන මිනී මැරීමකට උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම සේ ලිහිල් කර තිබීම ප්‍රශ්නකාරී බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වාදී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි වීමෙන් ඒ යටතේ රඳවාගෙන සිටි මෙතෙක් නඩු නොපවරා ඇති පිරිස් හා ඒ පනත යටතේ නඩු අසා දඬුවම් ලබාදී ඇති පිරිස්වලටද නව පනත යටතේ ලිහිල් දඬුවම් හිමි වීමද ඒ මහතා සිය පෙත්සමෙන් අභියෝගයට ලක් කර ඇති බවයි.

එසේම නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන යටතේ ත්‍රස්තවාදී සැකකරුවන් පිළිබඳ සිදු කරන විමර්ශන සඳහා බාධා එල්ලවන බවද එම පෙත්සමෙහි සඳහන් කර ඇති බවත් විශේෂයෙන් නව පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා ගැනීම ඇතුළු විමර්ශන පටිපාටියෙහි එක් එක් අදියර මානව හිමිකම් කොමිෂන් සභාවට හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට වාර්තා කිරීමට ආරක්ෂක අංශවලට සිදුවීමෙන් එකී විමර්ශනවල ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමෙහි ඉඩක් නිර්මාණය වී ඇති බවද එහි සඳහන් කොට ඇත.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් ජී.ටී. මධුභාෂිනී, කපිල ගමගේ, කනිෂ්ක විතාරණ යන නීතිඥවරු සමඟ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් මේ පෙත්සම ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon