තරුණියක පැහැරගත් බවට සැක අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

  👤  3022 readers have read this article !
By mawbima 2018-10-17

තංගල්ල - සහම්පති මානගේ

දහහත් හැවිරිදි තරුණියක අම්බලන්තොට වලවවත්ත ප්‍රදේශයේදී පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අම්බලන්තොට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු, ගිනි අවියක් හා ජීව පතරොම් සමඟ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පෙරේදා (15දා) රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට වලවවත්ත ඕලුවිල ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි තරුණයෙකි.

අම්බලන්තොට වලවවත්ත ප්‍රදේශයේදී පසුගිය 03 වැනිදා නිවෙසකට කඩා වැදුණු පිරිසක් දහහත් හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස් තිබූ අතර සිද්ධියට පසුදින එම තරුණිය තිස්සමහාරාම ප්‍රදේශයේ සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගන්නා ලදී. බෙලිඅත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයාද මෙම පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරයි.

බෝර ‍ෙදාළහ පතරොම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් අතැතිව සැකකරු බෙලිඅත්ත කෝවිල්වත්ත ප්‍රදේශයේ පාගමනින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක පලා යෑමට උත්සාහ කර ඇති අතර ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

සැකකරු සන්තකයේ තිබී ජීව පතරොම් දෙකක්ද සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයා කුමන කටයුත්තක් සඳහා ගිනි අවියක් හා පතරොම් සන්තකයේ තබාගෙන පැමිණියේ දැයි අනාවරණය කර ගැනීමට බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.සී. නසීර් මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන රංජිත් (30807), ගමගේ (20887), කොස්තාපල්වරුන් වන කුමාර (76166) හා ලලිත් (27243) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon