තාරුණ්‍යයට හෙටක් සඳහා රුපියල් මිලියන පහක අනුග්‍රහයක් ලබාදීමේ ක්‍රියාදාමය තුළ වරදක් දක්නට නෑ

  👤  3061 readers have read this article !
By mawbima 2018-10-17

කේ.එස්. උදය කුමාර්

ඉකුත් පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ "තාරුණ්‍යයට හෙටක්" සංවිධානය සඳහා රුපියල් මිලියන 05ක අනුග්‍රහයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය තුළ වරදක් දක්නට නොලැබෙන බව එම කොමිසම අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා අංශය) ලෙස කටයුතු කරන තුෂාර ජයරත්න මහතා ඊයේ (16දා) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් මිලියන 05ක මුදලක් අනුග්‍රහයක් වශයෙන් "තාරුණ්‍යයට හෙටක්" සංවිධානය වෙත ලබාදීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා කටයුතු භාරව සිටි රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් ඊයේ (16දා) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකාර ජයරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දෙවැනි විත්තිකාර ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ හරස් ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.

විත්තියේ ජනාධිපති නීතිඥ
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා රුපියල් මිලියන 05ක අනුග්‍රහයක් ලබාදීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසියම් සාමාජිකයකු විරෝධය පළකර තිබෙනවාද
සාක්ෂිකරු - එම යෝජනාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පක්ෂ වුණාද? විරුද්ධ වුණාද? කියන්න මා දන්නේ නෑ.

අධ්‍යක්ෂ මණ්ඩල සටහන්වල ඒ පිළිබඳව සටහන් වෙලා තිබෙනවා නේද..?

සාක්ෂිකරු
අධ්‍යක්ෂ මණ්ඩල සටහන් මට ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒ පිළිබඳව මට දැනීමක් නෑ.

විත්තියේ ජනාධිපති නීතිඥ -
මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වුණාම අනුග්‍රහය වශයෙන් අදාළ මුදල් අනුමත කරන්න අධ්‍යක්ෂ මණ්ඩලයට බලය තිබෙනවාද..?

සාක්ෂිකරු
එම මුදල් ගෙවන්න හෝ නොගෙවා ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයට බලය තිබෙනවා.

විත්තියේ ජනාධිපති නීතිඥ
එම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ කිසියම් වරදක් තිබෙනවාද?

සාක්ෂිකරු
එහෙම වරදක් වෙලා නෑ.

විත්තියේ ජනාධිපති නීතිඥ
ඔබ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කටඋත්තර කීපයක් ලබාදී තිබෙනවාද?

සාක්ෂිකරු
එක් කටඋත්තරයක් ලබාදුන්නා. මතකය අලුත් කර ගැනීම සඳහා එය මම ඊයේ සවස කියවා බැලුවා.

සාක්ෂිකරු ලබාදුන් මෙම පිළිතුරත් සමඟම විත්තියේ නීතිඥවරු උස් හ¾ඩින් සිනාසීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සාක්ෂිකරුවකු මේ ආකාරයෙන් සමච්චලයට ලක් කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළේය.

විත්තියේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු
ස්වාමිනී! මෙය සිනාසිය යුතු කාරණයක් තමයි. මන්ද සාක්ෂිකරුවකුට සාක්ෂි දීමට පෙර ඔහුගේ කටඋත්තරය කියවා බැලීමට හැකියාවක් නැහැ. තමුන්ට මෙම කටඋත්තරයේ පිටපතක් ලැබුණේ කොහෙන්ද?

සාක්ෂිකරු
ස්වාමිනී විත්තිකාර ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් පැවැති අභ්‍යන්තර විනය
පරීක්ෂණයේදී මා සාක්ෂි දුන්නා. එහිදී තමයි මෙම කටඋත්තරයේ පිටපතක් ලැබුණේ.

විනිසුරු ආර්. ගුරුසිංහ
නඩුවක සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙන්නේ ඉතා අමාරුවෙන්. ඒ ගැනත් විත්තිය සැලකිල්ලට ගත යුතුයි.

විත්තියේ ජනාධිපති නීතිඥ
සාක්ෂිකරු සාක්ෂි දෙන්නේ අමාරුවෙන් බව මා පිළිගන්නවා ස්වාමිනී! ඒ වගේම විත්ති කූඩුවේ සිටින විත්තිකරුවන්ට මා යුක්තිය ඉටුකළ යුතුයි.

විනිසුරු ආර්. ගුරුසිංහ මහතා
එකම ප්‍රශ්නය කිහිපවතාවක් ඇසීමෙන් අධිකරණයේ කාලය නාස්ති වීමක් සිදුවෙනවා.

අනතුරුව වැඩිදුර විභාගය මේ මස 22 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා පෙනී සිටී. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon