එදා මෙදාතුර ජනතාව ඡන්දය දී ඇත්තේ පක්‍ෂවලට නොවේ: කොල්ල කල්ලිවලට

  👤  3029 readers have read this article !
By mawbima 2018-10-17

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි හා හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

'රට හදන - රට රකින ජනතාවාදී පාලනයක්' යන මැයෙන් රට පුරා පවත්වන ජනහමු දස දහසේ වැඩසටහන යටතේ ඉකුත්දා කොත්මලේ, මෑතගමදී පැවැති ජනහමුවක් අමතමින් ටිල්වින් සිල්වා එසේ පැවැසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.

රජයේ සේවකයන්ට වසර 5කට සැරයක් පොඩි වාහනයක් ගන්න පර්මිට් එකක් දෙනවා. ඒකත් අත්හිටෙව්වා. අත්හිටුවලා ආණ්ඩුව කිව්වා ඇමැතිවරුන්ටත් අත්හිටෙව්වා කියලා. ඒක පට්ටපල් බොරුවක්. මැති ඇමැතිවරු ඒ වෙනකොට වාහන අරගෙන ඉවරයි. රජයේ සේවකයන්ට මේක ගන්න බැරිවෙන්න නැවැත්තුවා. ඒකෙනුත් පහර දුන්නේ පහළ පන්තියට. ඊළඟට සීමා කරන්න කීවා වියදම. ජනාධිපතිතුමයි, අගමැතිතුමායි මාරුවෙන් මාරුවට රට යනවා. හරියට සීසෝ පදිනව වගේ. මේවට වියදම් කරන්නේ රුපියල්වලින් නෙවෙයි ඩොලර්වලින්. ඩොලර්වලින් සල්ලි වියදම් කර කර දෙන්නා යනවා මාරුවෙන් මාරුවට රට.

නිව්යෝර්ක්වලට ජනාධිපතිතුමා ගියේ කොහොමද? එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ ජනාධිපතිතුමා. එතුමා යන්න ඕන. ඒ ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ගියේ ලේකම් එක්කවත් උදව්වට දෙතුන් දෙනෙක් අරගෙනවත් නෙවෙයි. ජනාධිපතිතුමා 63 දෙනෙක් අරගෙන ගියා මහජන මුදල්වලින් නිව්යෝර්ක්. ඒ පිරිස සකස් වුණේ නෝනයි ළමයි ටිකයි, ළමයින්ගේ මහත්තයලයි, නෝනලයි, ඇමැති මණ්ඩලයේ ඉන්න යාළුවෝ ටිකයි, ඒ අයගේ නෝනලයි ළමයි ටිකයි ආදී වශයෙන්. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ ජනාධිපතිතුමා විතරයි. 63 දෙනෙක් එක්ක ගිහින් සාප්පු සවාරි ගහලා, රස්තියාදුවක් ගහලා.

විනෝද වෙලා මෙහෙ ඇවිත් අපට කියනවා වියදම් අඩු කරගන්නලු. රුපියල බාල්දු වෙන එක වළක්වා ගන්නලු. ඒ අය ආදර්ශයෙන් මේක කරලා නෑ. මේ රටේ ජනතාවට බණ කිය කියා රටේ ප්‍රශ්න විසඳන්නේ නැතිව තමයි මේ අය කටයුතු කරන්නේ.
මේ ආණ්ඩුව ආව ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා. බැඳුම්කර වංචාවෙන් කවුද හම්බ කර ගත්තේ? රවි කරුණානායක මහත්තයට ඇමැතිකම නැති වුණා. ඇයි? මහ බැංකුවේ වංචාවට උදවු කරලා.

ඒ උදව්වට ප්‍රතිඋපකාර ලෙස අර්ජුන් ඇලෝසියස්ගෙන් ගෙයක් ගත්තා. ඒක අහුවුණ නිසා ඇමැතිකම නැති වුණා. තව කට්ටියක් ඉන්නවා උදවු ගත්ත අය. මේ ගොල්ලෝ ආණ්ඩුව ගත්ත ගමන් මහජන මුදල් වංචා කළා. ඇත්ත ගත්තොත් අපි ඡන්දේ දීලා පත් කරගන්නේ ආණ්ඩු නෙවෙයි. පොඩි කොල්ල කල්ලි. පොඩි කොල්ල කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය අපෙන් ඡන්දේ ඉල්ල ගන්නවා බොරු කියලා. ඡන්දේ ඉල්ලලා බලය අරගෙන ඒ බලය පාවිච්චි කරල මහජන මුදල් කෝටි ගණනින් කොල්ල කනවා. අපි ඒ අය අවුරුදු 5කින් අයින් කළාට පසුව අනෙක් අය එනවා. එන්නේ හොරකම් අල්ලන්න කියලා. හොරකම් අල්ලපු එක්කෙනෙක්වත් නෑ.

දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට හොරකම් කරනවා. මෙතැන තියෙන්නේ හොරා පොලිස් සෙල්ලමක්. අපි ඉස්කෝලේ යන කාලේ දෙපැත්තට බෙදිල කරපු හොරා පොලිස් සෙල්ලම වගේ එක වෙලාවක එක කණ්ඩායමක් හොරා වෙනවා. අනෙක් කණ්ඩායම පොලිස්, පොඩ්ඩකින් ආයේ නවත්තලා කලින් හොරා පොලිස් වෙනවා. පොලිස් කට්ටිය හොරු වෙනවා. දැන් මේ යන්නේ ඒ වගේ එකක්.

ලංකාවේ දැන් තියෙන්නේ ණයට කන ආර්ථිකයක්. මහජන මුදල් නාස්ති කරල කොල්ලකාලා ඊට පස්සේ රටේ අර්බුදයක් ආව වෙලාවේ ආණ්ඩුව ණය ගෙවාගන්න මොකද්ද ගන්න පියවර. මුදල් උපයන නිෂ්පාදන මාර්ග දියුණු කරන්නේ නෑ. වංචා දූෂණ නවත්වන්නේ නෑ. වියදම් අඩු කරන්නේ නැතිව ජනතාව මත බර පටවනවා. හැම ආණ්ඩුවක්ම මොකද්ද කරන්නේ තමන්ගේ ආණ්ඩුවට සල්ලි නැති වුණාම සල්ලි හොයන්න ජනතාවට ගහනවා කෙළවරක් නැතිව බදු පිට බදු. බදු වැඩි කරනවා. දඩ වැඩි කරනවා. දැන් දඩයි බදුයි ගෙවන ආර්ථිකයක් අපිට තියෙන්නේ.

අපේ රටේ පසුගිය අවුරුදු 70 තුළම සිදු වුණේ මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලනය පිරිහිලා යෑම. අද රුපියල බාල්දු වෙලා. අපි සතු සම්පත් අපිට නැති වෙලා ගිහිල්ලා. දැන් වරාය අපට නෑ. තව ටික දවසකින් ගුවන් තොටුපොළ අපට නැති වෙනවා. තෙල් ටැංකි ටික නැති වෙනවා. දැනටමත් කල්පිටියේ දූපත් 14න් දෙකක් විකුණලා.

ඉඩම් විකුණලා. කොළඹ නගරයේ අක්කර 7ක ඉඩමක් විකුණලා තියෙනවා ෂැංග්‍රිලා සමාගමට. අපේ රටේ සම්පත් ටික විකුණ විකුණා යද්දී අපි දුප්පත්කමින් මිරිකෙනවා. රට පිරිහිලා යනවා.

ආණ්ඩුවේ දේශපාලනෙත් පිරිහිලා. හැම ආණ්ඩුවකම ලොක්කෝ හොරුනේ, ඇමැතිවරුත් හොරුනේ. කල්පනා කරලා බලන්න රටකට ආඩම්බරද කියලා මේ වෙන දේවල්. කලින් ආණ්ඩුවේ ජනාධිපතිට චෝදනා තියෙනවා. ජනාධිපතිගේ මල්ලි ආර්ථික ඇමැතිකම දරාපු බැසිල් රාජපක්ෂ මහත්තයාට චෝදනා තියෙනවා. දරුවන්ට චෝදනා තියෙනවා. ඇමැතිවරුන් ගොඩකටත් නඩු තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ අගමැතිට චෝදනාවක් තියෙනවා. ඇමැතිවරුන්ට ඉල්ලා අස්වෙන්න වෙලා තියෙනවා. නඩු වැටෙන්නේ නැත්තේ මේ අය ආණ්ඩුවේ ඉන්න නිසා. ඇමැතිවරු හොරකම් කරනවා නම් අගමැති හොරකම්වලට උදවු කරනවා නම්, ජනාධිපති පගා ගහනවා නම් අපේ රටේ දේශපාලනය පිරිහිලා නැද්ද? පාර්ලිමේන්තුවේ අද මොකක්වත් කෙරෙන්නේ නෑ.

පසුගිය කාලේ ආණ්ඩුව තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුව පෙන්නන්න පැය දෙකක කාලයක් රූපවාහිනියෙන්. රූපවාහිනියේ පෙන්නන පැය දෙකක කාලය තුළ ඔය ඔක්කොමලා එනවා. ඒ විතරක් නෙවෙයි ඒ සජීවී පැය දෙක ඇතුළේ මේ පිරිස උපරිම සෙල්ලන් ටික දානවා. හරි සද්දෙට. පැය දෙක ඉවර වුණාට පස්සේ කැන්ටිමෙන් කාල කට්ටිය යනවා. හවස් වරුවේ ඡන්දේ විමසනකොට කට්ටිය නෑ. නමුත් අපේ ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනා එහෙම නෙවෙයි.

අපි සක්‍රියව පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි දැන් අවුරුදු තුනක් පිට පිට පාර්ලිමේන්තුවේ සක්‍රිය හොඳම මන්ත්‍රිවරයා ලෙස සමීක්ෂණයකින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා තේරී පත් වීම. දෙවැනියා බිමල් රත්නායක සහෝදරයා. මුල් 10 දෙනා තුළ අපේ සහෝදරවරු 5 දෙනෙක් ඉන්නවා. අපි එහෙමයි.

හැටන් - චන්න අද්දරගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon