පොදුජන පෙරමුණේ මහනුවර දිසා සමුළුව ආණ්ඩුවේ නායකයන්ට ඕනෑ විදියට FCIDය සාක්කි විකෘති කරනවා

  👤  3099 readers have read this article !
By mawbima 2018-10-17

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ශ්‍රී ලංකාවේ හොර ආයතනයක් බවට පත්ව ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ දේශපාලන නායකත්වයට අවශ්‍ය පරිදි සාක්ෂි විකෘති කරමින් මෙම ආයතනය හැසිරෙමින් පවතින බව ඉකුත් 15 වැනිදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිසා ශාඛා සමුළුවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

සාක්ෂිකරුවන්ගේ තොරතුරු විකෘති කරනවා පමණක් නොව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් රටේ නායකත්වයට අවශ්‍ය පරිදි සාක්ෂි සකස් කරමින් සිටින බවත් උත්තරීතර ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුවද මේ වන විට එම තත්ත්වයට පත් වෙමින් ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති
අප කෙරෙහි කරන පළිගැනීම් නිමාවක් නැහැ. අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර රටේ අධිකරණය විෂය භාර අමාත්‍යවරිය ඒ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.

ආණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර හතරක් ගතවී හමාරයි. නමුත් රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. අප වසර නවයක් තිස්සේ ගන්නා ලද ණය මුදලට සමාන මුදලක් මේ ආණ්ඩුව වසර තුනකින් ලබාගෙන. අපි කරන ලද සංවර්ධන ක්‍රියාදාමයන් පෙන්විය හැකියි. නමුත් මේ ආණ්ඩුව කරපු දෙයක් පේන්න නැහැ.

ඡන්ද පොරොන්දු ලබා දීමේදී මම කිව්වේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ හැක්කේ රුපියල් 3000කින් පමණක් යැයි කියලා. ඒ නිසා බොහෝ දෙනෙක් මට ඡන්දය දුන්නේ නැහැ. මට විරුද්ධව ඡන්දය දුන් අය වැඩි වැටුප් පමණක් නොව මෝටර් සයිකලයට ගෙවන ලද රුපියල් පනස් දහස යළි ලැබේ යැයි විශ්වාස කළා. මා විසින් දෙන ලද මෝටර් සයිකලයෙන් ගොස් මට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

එහෙත් ජනතාවට ආණ්ඩුව එපා වුණු බව පැහැදිලිව දැකිය හැක්කේ ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලවලින්. ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය පසුදින 'මව්බිම' පුවත්පතේ ලොකුවට පළකර ඇති බව දුටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිහිසුන් වී තිබෙනවා. එවිට මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය තමයි වතුර ඉස තිබෙන්නේ සිහි එළවාගෙන තිබෙන්නේ.

ඡන්දයට බයේ පළාත් සභා ඡන්ද කල් දැමුවත් ජනාධිපතිවරණය එලෙස කල් දමන්න බැහැ. ලබන වර්ෂයේදී ඡනාධිපතිවරණය පවත්වන්න අවශ්‍යයි.

කැලෑවෙන් වැසී තිබුණු හම්බන්තොට වරාය නිර්මාණය කළේ ජාත්‍යන්තර වශයෙන් එම ස්ථානයේ ඇති වැදගත්කම පිළිබඳව සැලකීමක් කරලා. නමුත් අද එම ස්ථානය අලෙවි කරනවා. අලෙවි කරනවා යැයි කියන්නේත් නැහැ. අවුරුදු 99 ඒවා දෙකකට බදු දෙනවා. මෙලෙස සූක්ෂ්ම වචන භාවිත කරමින් රටේ සම්පත් සියල්ල අලෙවි කිරීමට මේ ආණ්ඩුව ක්‍රියා කරනවා.

මත්තල ගුවන්තොටුපළ අලෙවි කිරීම ඊටත් වඩා භයානකයි. පොළොව පමණක් නොව ගුවන් තලය ද එහි දී අලෙවි වෙනවා. එම කලාපයට ඉහළින් පියාසර කරනවා නම් ඔවුන්ගේ අනුමැතියක් ලබා ගත යුතුයි. මේ ආකාරයට රටේ ප්‍රධාන ස්ථාන රැසක් අලෙවි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

මේ සියල්ල විකුණ­ පසු ඔබේ දරුවන්ට ඉතුරු වන්නේ මොනවද? උපන් දින දරුවන්ට මේ භූමිය අහිමි වන ලකුණු පේනවා. මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ තුළ පේන්නේ රට පාවාදීමක්. එය වහා නතර කළ යුතු කාලය එළැඹිලා.

කඩා වැටෙන රුපියල ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. අප රට සහලින් ස්වයංපෝෂිත කළා. දේශීයව වගා කළ හැකි බෝග රැසක් විදේශ රටවලින් ගෙන්වනවා. කුරක්කන් ආනයනය කිරීම සඳහා පමණක් ආණ්ඩුව රුපියල් බිලියන එකකට වැඩි මිදුලක් වෙන් කරලා. කිසිම සැලැස්මක් මේ ආණ්ඩුවට නෑ. මේ පිළිබඳව දැනුවත් විය යුතුයි.

අද අපිට බනින්නේ හොරු කියලා. රත්තරං අශ්වයන්, ලැම්බෝගිනි තිබෙනවා කිව්වා. මම හිතන හැටියට රත්තරං අශ්වයා දැන් බැඳලා ඇත්තේ වන්ෂොට්ගේ ගෙදර.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල
රනිල් වික්‍රමසිංහ කියන්නේ සූක්ෂ්ම නායකයෙක්. ජනාධිපතිවරණය ආසන්නයේදී එතුමා කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂගේ ණය සියල්ල දැන් ගෙවා අවසන්. දැන් අපිට ජනතාවට සහන දෙන්න පුළුවන් කියා.

මහින්ද රාජපක්ෂ පාලනයක් මෙරට තිබුණා නම් මේ වන විට රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 15,000කින් පමණ ඉහළ යන්න තිබුණා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ
නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් දෙකට බෙදීම රනිල් වික්‍රමසිංහයන්ගේ අභිප්‍රායයි. නමුත් ජනතාව ඊට ඉඩ දෙන්නේ නැහැ.

ගෝඨාභය පිළිබඳ බය එක්සත් ජාතික පක්ෂයට ඇති විය යුතු වුවත් අපේ ඇතැම් මන්ත්‍රිවරුන්ට ඒ බය දැනිලා වගේ. රනිල් වික්‍රමසිංහට ඇති බය පිළිබඳව ඇයි අපේ අයට කැක්කුමක්? රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ නොයන ලෙස වෙල්ගම මහතාට මේ අවස්ථාවේදී දැනුම් දෙන්න මම කැමැතියි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා
ඉකුත් ජනාධිපතිවරණයේදී රට බේරාගත් නායකයා ඡන්ද සුළු ප්‍රමාණයකින් පරාජයට පත්වුණා. නව ආණ්ඩුව බලයට පත්වුණත් දින 100ක් තුළ රටට වැඩ කළ හැකි ප්‍රතිපත්තියක් ඔවුන් ක්‍රියාත්මක කළා?

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතා
කිසිදු සැකයකින් තොරව ඊළඟ මැතිවරණයේදී අප ආණ්ඩු බලය ලබා ගන්නවා. ඊයේ පෙරේදා සිට අපේ රටේ අලුත් නායකයෝ බිහි වෙන්න හදනවා.

අපිට ඉන්නේ එකේ නායකයායි. ඒ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ මහතායි. කාගෙවත් ලණු කාලා එක එක්කෙනා පස්සෙ යන්න එපා කියලා මම දැනුම්දෙන්න කැමැතියි.

නදීක දයා බණ්ඩාර - මහනුවර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon