ගෙවුණු සියවසේ අත්දැකීම්වලට වඩා එළැඹෙන සියවසේ අත්දැකීම් අභියෝගාත්මකයි

  👤  2987 readers have read this article !
By mawbima 2018-10-17

කටුනායක ගුවන් තොටුපොළ, වෙළෙඳ කලාප සහ කර්මාන්තපුර ආදිය නිසා පාරිසරික අභියෝග වැඩියෙන්ම තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සැමරුමට පසුගියදා එක්වෙමිනි.

විද්‍යාල පරිශ්‍රයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා ටෙලිකොම් විදැස ඩිජිටල් ඉස්කෝලේ ජනගත කිරීමද සිදු වුයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සවය ඇමැතූ ජනාධිපතිවරයා,
මම ඉමහත් ගෞරවයක් දක්වන බණ්ඩාරනායක විද්‍යාලයේ වසර සියයක ඉතිහාසය සමරමින් දරුවන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන්, පෙන්නුම් කරන ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

ගෙවුණු සියයට වඩා ලබන සියය අභියෝගාත්මකයි. ගෙවුණු සියයේ අත්දැකීම්වලට වඩා එළැඹෙන සියයේ අත්දැකීම් ඇතැම්විට අභියෝගාත්මකයි. පුදුමාකාරයි, ත්‍රාසජනකයි. ඒ කුමක් නිසාද? දියුණු වන සමාජය හා අධි තාක්ෂණය නිසයි.

ඇතැම් විට සුන්දර විය හැකියි. ඇතැම් විට ත්‍රාසජනක විය හැකියි. ඇතැම් විට එය පුදුමාකාර විය හැකියි. අප දන්නා පරිදි නව තාක්ෂණික ලෝකය තුළ අතීතයට වඩා අනාගත අත්දැකීම් බහුල විය හැකියි.

වාහනවල තිබෙන වේගය තමයි දරුවන්ගේ අනාගත ජයග්‍රහණය සඳහා තිබෙන තරගකාරිත්වය. ඒ වේගයටම තරකාරිත්වයටම ඔබට හුරුවීමට සිදුවෙනවා.

ඔබ එහි උරුමක්කරුවන් වෙනවා. ඒ නිසා ඒ වේගයට ඔබ සූදානම් විය යුතු වෙනවා. ඒ වේගයට සූදානම් වෙන්න තිබෙන අභියෝග අප විසින් තේරුම් ගත යුතු වෙනවා. අජිත් මාන්නම්පෙරුම නියෝජ්‍ය ඇමැතිතුමා ඔබේ පාසලේ ආදි සිසුවෙක්. එතුමා ඉන්ජිනේරුවරයෙක් ඔබේ පාසලෙන් බිහිවූ. අර්ජුන රණතුංග මහතා ලෝකයම ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක්. අනෙක් සිටින ආදි ශිෂ්‍යයෝ විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා පෙන්නුම් කළා.

ලෝකයේ ජීවත් වන මිනිස්සු විවිධ වකවානුවලදී විවිධ යුගයන්වලදී මුහුණ දෙන විවිධ අභියෝග එක්වරම පැමිණෙන දේවල් නොවේ. ඇතැම් විට එය නොසිතූ ආකාරයෙන් එම අභියෝග දකිමින් ඒවාට ළඟා වෙනවා.

පරිසරය පිළිබඳව කතා කරන විට ඔබ ජීවත් වන ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ වන ඝනත්වය තුළ සිටින්නේ පහළම ස්ථානයක. ලෝකයේ රාජ්‍ය නායකන්ට මෑත දශකයේ තමයි සිහිපත් වුණේ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව. කාර්මීකරණය සහ නව තාක්ෂණයත් සමඟ ස්වාභාවික සම්පත් විනාශවෙමින් අධි තාක්ෂණය ගොඩනැඟුණේ. ලෝකයේ රටවලට ගිය විට ඔබ දකිනවා මහා කොන්ක්‍රීට් නගර. ලෝකයේ නව තාක්ෂණික නගර සමඟ නව නගර සංවර්ධනය සැලසුම් සමඟ බිහි වෙන්නේ වනාන්තර නිර්මාණය කරමින්.

මිනිසුන්ට සතුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ඔබ දන්නවා. මූලික අවශ්‍යතාව වාතය, ඔක්සිජන්, ආහාර, ජලය. ඒ සියල්ල පිළිබඳ ලෝකයම අද අභියෝගයට මුහුණ දෙනවා. ඒ අභියෝගය ඉතාමත් ප්‍රබලයි.

එය අපි තේරුම් ගත යුතුයි. ලංකාවේ වන ඝනත්වයේ පහළම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කය. 2%යි. කොළඹ දිස්ත්‍රික්කයේ 3%යි. යාපනය දිස්ත්‍රික්කයේ 5%යි. උතුරේ යාපනය ඇරෙන්න අනෙක් සියලුම දිස්ත්‍රික්කවල ලංකාවේ ඉහළම වන ඝනත්වය තිබෙනවා. උපන් දිනයට දරුවන්ට කේක් කපන ගෙවල්වල ආදරණීය අම්මලාගෙන් තාත්තලාගෙන් වගේම අම්මට තාත්තාට උපන් දිනයට අද කේක් එකක් කපමු කියන දරුවන්ගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ කේක් එකකට මුදල් වියදම් කරන්න එපා. සෑම කෙනකුටම ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න. උපන් දිනයට පැළයක් සිටුවන්න කියායි.

අපි ඉතා සුළුකොට හඳුනාගත් ප්‍රශ්න අද විශාල ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ලෝකයේ මහා පරිසරවේදියාණන් බුදුරජාණන් වහන්සේ බව ඔබ දන්නවා. බුදුන් වහන්සේ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව දේශනා කර තිබෙනවා. උන්වහන්සේ දේශනා කළ ධර්මය ඉතාමත් වැදගත් අංශවල කොටස්වල පරිසර සංරක්ෂණය, පරිසර සුරක්ෂිතභාවය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කරනවා.

මිනිසාගේ අනාගතය සඳහා මේ තිබෙන අභියෝගයේදී සියවසක් පිරෙන ඔබේ පාසලේදී ඔබෙන් කරන ඉල්ලීම එකම දේ පරිසරය රකින්නට ඔබේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න කියායි. එය ඔබේ ජීවත් වීම සඳහා මෙන්ම හෙට දවසේ උපදින දරුවන් සඳහායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon