විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට විසඳුම් නොදී මඟහරින උසස් අධ්‍යාපන ඇමැති ප්‍රමුඛ බලධාරීන්ට ඉදිරි සතියේදී රිදුම් දෙන දේවල් දැකිය හැකියි -අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර

  👤  3000 readers have read this article !
By mawbima 2018-10-17

සවනි ශේශාධි

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති බරපතළ අධ්‍යයන සහ සුබසාධක ගැටලුවලට පිළිතුරු නොදී මඟහරිමින් උසස් නවක වද නැට්ටේ එල්ලෙමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන උසස් අධ්‍යාපන ඇමැති ප්‍රමුඛ බලධාරීන්ට ඉදිරි සතිය ඇතුළත බොහෝ රිදුම් දෙන දේවල් බලාපොරොත්තු විය හැකි යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අනතුරු අඟවයි.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අධ්‍යයන සහ සුබසාධක ගැටලු සම්බන්ධයෙන් ශිෂ්‍ය ප්‍රජාව කෙතරම් කරුණු දැක්වුවද ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වා, දේශපාලනය කරනවා යැයි ශිෂ්‍යයන්ටම චෝදනා කරන උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ශිෂ්‍ය ගැටලුවලට පිළිතුරු ලබා දිය නොහැකි නම් අරගලයට මුහුණ දීමට සූදානම් වන ලෙස දන්වා සිටින බවද හෙතෙම පැවැසීය.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී පෙරේදා (15දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ හෙතෙම පැවැසුවේ කුමන ආකාරයෙන් පැමිණියද අධ්‍යාපනය විකිණීමට අන්තරය එරෙහි බවයි. "බැටික්ලෝ කැම්පස්" වෙත ආගමික පදනමක් ආරූඪ කර ගනිමින් සමහරු විරුද්ධත්වය ප්‍රකාශ කළද ජාතිය මත පදනම්ව හෝ මුදල් මත පදනම්ව අධ්‍යාපනය විකිණීමට තමන් එරෙහි බවයි.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කර ගැනීම සඳහා විවිධ පාර්ශ්ව එක්ව සටන් කරන විට රාජ්‍ය අමාත්‍යවරයකුගේම සහභාගිත්වයෙන් යුතු පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම හරහා පැහැදිලි වනුයේ ආණ්ඩුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය බවද හෙතෙම පෙන්වා දී දෙයි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අන්තරේ කැඳවුම්කරු මෙසේද පැවැසීය.

"බැටික්ලෝ කැම්පස්" කියන ආයතනය සඳහන් කරලා තිබුණේ ඔවුන් වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධව තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි වෘත්තීය පුහුණු හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ යොමුකළ ලිපියට පිළිතුරු ලෙස ඔවුන් සඳහන් කරලා තිබුණේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට බැටික්ලෝ කැම්පස් සමඟ කිසිදු සම්බන්ධතාවක් නැහැ කියලා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් මේ සම්බන්ධව විමසන්න කියලා ඔවුන් අපට දැනුම් දුන්නා. 2018 ජුනි මාසේ 05 වැනිදා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් මේ සම්බන්ධව තොරතුරු විමසුවා.

අද දිනය වනතුරුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් සිදුකරලා නෑ. මේ බැටික්ලෝ කැම්පස් කියන්නේ සයිටම් වගේම තවත් නියමු ව්‍යාපෘතියක්. මඩකළපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හැදෙනවා. පීඨ පහක් හයක් මෙහි ඇතුළත්. ඉදිරියේදී වෛද්‍ය පීඨයකුත් ආරම්භ වීමට නියමිතයි කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා.
ඡායා - දුමිදු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon