නුවරඑළිය මහ රෝහලෙන් දුන් එන්නතින් පසු ඇස් පෙනීම දුර්වල වූ රෝගීන්ට තවම හරි සුවයක් නෑ

  👤  1348 readers have read this article !
By mawbima 2018-10-16

නුවරඑළිය - චන්ද්‍රසිරි මහගම

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයකදී ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇස් පෙනීම දුර්වල වී වෙනත් රෝගාබාධ වැලඳීමෙන් පීඩාවට පත්වී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවම ස්ථීර සුවයක් නැති හෙයින් මේ පිළිබඳව ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බව එම රෝගීන් පිරිසක් පවසති.

ඉකුත් මස 17දා රෝගීන් 55 දෙනකුට පමණ එන්නතක් ලබාදී තිබූ අතර එයින් පසුව රෝගීන් 30කට ආසන්න පිරිසකට ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීම නිසා යළි රෝහල්ගතව තිබිණි. අක්ෂි සායනය සඳහා සහභාගි වී සිටි දියවැඩියා රෝගීන් වෙනුවෙන් ලබා දුන්නා යැයි කියන එම එන්නතින් පසුව ඇස්වලින් කඳුළු ගැලීම, තදබල හිසරදය, ඇස්වල වේදනාව මෙන්ම ඇස් පෙනීමේ දුර්වලතා ඇති වූ බවත් කොතෙක් ප්‍රතිකාර කළද තවමත් සුව නොවී එම තත්ත්වයෙන් පීඩා විඳින බවත් ඔවුහු පවසති.

මෙසේ පීඩා විඳින බව පවසන බණ්ඩාරවෙල, මකුල් ඇල්ල, ඇල්ලිමලේ ප්‍රදේශයේ පදිංචි කේ.ආර්.එම්. සුදත් කරුණාසිරි මහතා එය මෙසේ විස්තර කළේය.

මේ බේත විද්දට පස්සේ මට ඇස්වල ලොකු වේදනාවක් එක්කම එක දිගට කඳුළු ගලන්න ගත්තා. ගෙදර ආවට පස්සේ ඇස්දෙක පෙනෙන්නෙම නැතිව ගියා. පස්සේ ඉස්පිරිතාලෙට ගිහින් කිව්වාම අපි වාට්ටුවේ නතර කර ගත්තා. දින කීපයක් ප්‍රතිකාර කරලා ටිකට් කපලා යැව්වා. නමුත් මට තවම හරි සුවයක් නෑ. තදබල විදියට ඔළුවේ කැක්කුමක් එනවා. පසුගිය දිනවලත් මම බදුල්ල මහ රෝහලෙනුත් බේත් ගත්තා ඒකට. ඒත් වැඩක් වුණේ නෑ.

මේ පිළිබඳව කොළඹින් ඇවිත් පරීක්ෂණයක් සිදුකළා කියනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල තවම අපි දන්නේ නෑ. ඒ හින්දා ලෙඩ වෙලා ඉන්න අපි 22ක් අස්සන් කරලා ජනාධිපතිතුමාටත් මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කළා. අපිට මේ සිදුවුණු අසාධාරණය ගැන පරීක්ෂණයක් පවත්වලා අපිට වන්දි මුදලක් හෝ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon