අලුත්වැඩියාවට සමාගමකට භාරදුන් තමන්ගේම යතුරුපැදිය සොරකම් කරලා

  👤  1454 readers have read this article !
By mawbima 2018-10-16

අමිල අබේරත්න

අනතුරට ලක්වූ තම යතුරුපැදිය අලුත්වැඩියා කිරීම සඳහා එය මිලදී ගත් සමාගමට භාරදී යතුරුපැදිය අලුත්වැඩියා කළ පසු එය සොරකම් කර රුපියල් හාරලක්ෂයක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි තරුණයෙක් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (15දා) නියෝග කළාය.

විත්තිකරුව එලෙස ඇප මත මුදාහරිමින් සෑම මසකම අවසාන ඉරු දින 9.00ත් 12.00නත් අතර කොම්පඤ්ඤවීදිය පොලිසියට වාර්තා කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට නියම කළාය.

විත්තිකරු අමතර යතුරක් භාවිත කොට යතුරුපැදිය පණගන්වා එය සොරකම් කරගෙන ගොස් ඇති අතර පසුව එය උකස් කර තිබේ.

අනතුරට පත්වූ යතුරුපැදිය අලුත්වැඩියා කර ගැනීම සඳහා යතුරුපැදිය රක්ෂණය කර තිබූ රක්ෂණ ආයතනයෙන් එක්ලක්ෂ තුන්දහසක මුදලක්ද අදාළ තරුණයා ලබාගෙන ඇත.

විත්තිකාර තරුණයා කාඩ්බෝඩ් සොරකම් කිරීම හා රන් මාල කොල්ලකෑම පිළිබඳ නඩු ගණනාවක් ඇති තැනැත්තකු වන අතර නාවික හමුදාවේ සේවයේ සිටියදී නාවික හමුදාව සතු වාහනයක් සොරකම් කර චෝදනා ලැබ නාවික හමුදාවෙන් නෙරපූ තැනැත්තෙකි. විත්තිකාර තරුණයා බන්දුල හරිශ්චන්ද්‍ර දිසානායක නමැත්තෙකි. විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙයවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon