ජනපති ලේකම් කාර්යාලයේ ලිපි හා ව්‍යාජ වවුචර් ඉදිරිපත් කර ළමයින්ගේ පාසල් බෑග්වලින් වංචා කළ කාන්තාව 24දා දක්වා තවදුරටත් රිමාන්ඩ්

  👤  1381 readers have read this article !
By mawbima 2018-10-16

අමිල අබේරත්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට, ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ නිකුත් කළ ලිපි සහ ව්‍යාජව සකස් කළ වවුචර්පත් ඉදිරිපත් කර පොළොන්නරුව ප්‍රදේශයේ පාසල්


ළමයින්ට බෙදාදීම සඳහා පාසල් බෑග් ලබාගෙන වංචාවක් සිදුකළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් සහ ළමා කටයුතු උපදේශිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් මේ මස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (15දා) නියෝග කළාය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ෂෙරීන් ඔස්මන්ඩ් නමැති කාන්තාවකි. ඒ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයකු වන රුවන් ධර්මප්‍රිය එදිරිසිංහ නමැත්තා ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන් ඉදිරිපත් කළ ඇප අයැදීම සලකා සහ වංචාවක් හෝ අපරාධයක් සිදුකිරීමේ අරමුණින් හිටපු අධ්‍යක්ෂවරයා සිද්ධියට සම්බන්ධ වී නොමැති වීම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතු නොමැතිවීම යන කරුණු සලකා මහෙස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළාය.

සිද්ධියට අදාළ කාන්තාව සම්බන්ධයෙන්ද ඇයගේ නීතිඥයන් අධිකරණයෙන් ඇප ඉල්ලීමක් සිදු කළ අතර කාන්තාව බෑග් මිලදී ගැනීමට අදාළව ව්‍යාජ ලෙස සකස් කළ රිසිට්පත් මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම, තානාපති කාර්යාලය ලබාදුන් මුදලින් නියමිත පාසල් බෑග් ප්‍රමාණයට වඩා අඩුවෙන් මිලදී ගැනීම යන කරුණු සලකා සහ ඒ සම්බන්ධයෙන් තවම විමර්ශන පැවැත්වීම මත විමර්ශනවලට බාධා ඇතිවීමට හැකියාවක් තිබීම මත එලෙස ඇයගේ ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කෙරිණි.

පරිත්‍යාග වශයෙන් බෑග් 2,500ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 39ක මුදලක් තානාපති කාර්යාලයෙන් ලබා දී ඇති අතර ඔවුන් අදාළ ඉල්ලීම කර ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පාසල්වල ළමයින්ට පාසල් බෑග් බෙදාදීමේ කටයුත්තක් සඳහාය.

ඒ සඳහා ඔවුන් දෙදෙනා තානාපති කාර්යාලයෙන් පරිත්‍යාගයක් ඉල්ලා ඇති අතර ඒ අනුව මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයෙන් අදාළ මුදල් ලබා දී ඇත.

එම දෙදෙනා එකී ඉල්ලීම සලකා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපි සහ ව්‍යාජව සකස් කළ වවුචර්පත්, මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයට ඉදිරිපත් කර තිබේ.
සිද්ධියට අදාළව වංචා විමර්ශන නිලධාරීන් ජනාධිපති විමර්ශන අධ්‍යක්ෂවරයාගෙන් ලබාගත් ප්‍රකාශයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ ලිපි නිකුත් කිරීම සහ එවැනි ඉල්ලීමක් කිරීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයාට කිසිදු බලයක් ලබාදී නොමැති බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු අංශය භාර අධ්‍යක්ෂ සෙනරත්, ජනාධිපති ජේ‍යෂ්ඨ සහකාර ලේකම් විමලසිරි යන අයගේ උපදෙස් මත මිලදී ගෙන ඇති බෑග්, 2300ක ප්‍රමාණයෙන් පාසල් බෑග් 1945ක ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙන ගොස් ඇති බවද සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙය වූ වංචා විමර්ශන කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා අධිකරණයට දන්වා සිටියේය.

චූදිත කාන්තාව සහ හිටපු අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ එලෙස රැගෙන ගොස් ඇති පාසල් බෑග් ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් පොළොන්නරුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හරහා පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් ළමයින්ට බෙදාහැර ඇති බවය.

ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තාකරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යාංශයට දැනුම් දුන් අතර තානාපති කාර්යාලය ලබාදී ඇති මුදලින් මිලදීගෙන ඇති බෑග් ප්‍රමාණය සහ දැනට තිබෙන බෑග් ප්‍රමාණය පිළිබඳව විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාකරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දෙනු ලැබුවාය.

චූදිතයන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, නීතිඥ අසේල රැකව, නීතිඥ අනුර ද සිල්වා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon