ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගකොට අවසන් කිරීම වැදගත් සේම විත්තිකරුවන්ට යුක්තිය ඉටුවීමද ඉතා වැදගත්

  👤  1391 readers have read this article !
By mawbima 2018-10-16

කේ.එස්. උදයකුමාර්

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කඩිනමින් විභාග කොට අවසන් කිරීම වැදගත් වන්නා සේම විත්තිකරුවන්ට යුක්තිය ඉටුවීමටද වැදගත් වන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (15දා) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුව සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.

එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන සියල්ලම පාහේ විත්ති පාර්ශ්වය වෙත දී ඇතැයි කීවේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින් විත්තිය ඉල්ලා ඇති ලේඛනවලින් සමහරක් පමණක් ලැබී ඇති බවත් විත්තිකරුවන්ට විත්ති වාචකය ගොඩනැඟීමට අවශ්‍ය සෙසු ලේඛනද කඩිනමින් ලබා ගැනීම සඳහා අදාළ ආයතන වෙත නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් මෙම නඩුව කඩිනමින් විභාග කිරීම මෙන්ම විත්තිකරුවන්ට යුක්තිය ඉටුවීමටද බෙහෙවින් වැදගත් වන බව පෙන්වා දුන්නේය. 2014 වසරේ පෙබරවාරි මස 01 වැනිදා සහ 2015 වසරේ ජනවාරි මස 20 වැනිදා දක්වා කාල සීමාව තුළ හටගත් සිද්ධිය පදනම් කරගෙන මෙම නඩුව පවරා තිබුණද 2011 සහ 2012 වසරවලට සම්බන්ධ ලේඛනද තමන්ට ලබා ගැනීමට අවශ්‍යව ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ මාරපන මහතා විත්තිකරුවන්ට විත්ති වාචකයන් ඉදිරිපත් කිරීම සඳහා එම ලේඛන බෙහෙවින් වැදගත් වන බව කීවේය. මෙම ලේඛන ලැබීමෙන් අනතුරුව ඒවා අධ්‍යයනය කර හරස් ප්‍රශ්න ඇසීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බවද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේ මෙතෙක් නොලැබුණු ලේඛන මොනවාද යන්න පිළිබඳව ලැයිස්තුවක් සකස් කර අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඉන් අනතුරුව එම ලේඛන කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හරහා අදාළ ආයතන වෙත නොතිසි නිකුත් කරන ලෙසද විනිසුරුවරු නියෝග කළහ.

අනතුරුව නඩුව නැවත ලබන 23 වැනිදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එදින මෙම ලේඛන නිසි පරිදි ලැබී තිබේද යන්න පිළිබඳව පරීක්ෂා කරන බවද විනිසුරුවරු දැනුම් දුන්හ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

2014 වසරේ පෙබරවාරි මස 01 වැනිදා සහ 2015 වසරේ ජනවාරි මස 20 වැනිදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon