ලක්ෂ 15ක කුඩු තොගයක් ගෙනගිය ත්‍රිරෝද රියක් වැල්ලවත්තේදී මාට්ටු

  👤  1402 readers have read this article !
By mawbima 2018-10-16

කොළඹ - එම්.සී. පෙරේරා

රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු වැල්ලවත්ත මුහුදු මාවත අසලදී පෙරේදා (14දා) රාත්‍රි වැල්ලවත්ත දිසා දූණ මර්දන අංශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 180ක් පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල් කුලරත්න (67952) නිලධාරියාට ලද තොරතුරක් අනුවයි. රතු පැහැති ත්‍රිරෝද රථයක් මොරටුව දෙස සිට වැල්ලවත්ත දෙසට මත්කුඩු රැගෙන එන බවට ලැබුණු තොරතුරක් අනුව මුහුදු මාවත අසල නවතාගෙන සිටි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මීට වසරකට පමණ පෙරදී ටී-56 ගිනි අවි දෙකක් හෙරොයින් මත්කුඩු පැකට් 4,000ක් සමඟ අත්අඩංගුවට පත්වූ රත්මලානේ ධම්මික නමැත්තා කළුතර බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම කරන බවත් ඔහුගේ උපදෙස් මත ලද ඇණවුමකට පුද්ගලයකුට ලබාදීමට මත්කුඩු රැගෙන ආ බවත් පොලිසියට පවසා ඇත. සැකකරු අඟුලාන, සයුරපුර පදිංචි 41 වියැති අයෙකි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහකාර පොලිස් අධිකාරි (මධ්‍යම එක) වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් පත්මලාල්, උප පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන විතාන (65063), පැතුම් (60892), ගුණවර්ධන (49510), කුලරත්න (67952), බාලසූරිය (96229), බණ්ඩාර (16060), කුමාර (82730), වීරසිංහ (83764), කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රදීපා (9555) යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon