ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ වැඩ තහනමට ලක්වූ කම්කරුවෙක් අඩි 80ක් උස ජල ටැංකිය මත උපවාසයක

  👤  1377 readers have read this article !
By mawbima 2018-10-16

වීහේණ - අනුරාධ

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවකු ඊයේ (15දා) පස්වරුවේ එම ප්‍රාදේශීය සභා භූමියේ ඇති අඩි 80ක් උසැති ජල ටැංකිය මත නැඟ උපවාසයක් ආරම්භ කළේය.

මෙසේ උපවාසයේ නිරතවූයේ ආරච්චිකට්ටුව පදිංචි ආර්. සුනිල් ශාන්ත නමැති දෙදරු පියෙකි. ඔහු තම සත්‍යග්‍රහයට හේතු දක්වමින් මෙසේ පැවැසුවේය.

මම මේ ප්‍රාදේශීය සභාවේ වසර 4ක් සේවය කළා. අපේ උත්සව අවස්ථාවක් වෙලාවේ ලේකම්තුමා සමඟ වචන හුවමාරුවක් සිදුවුණා. වැරැදි හැසිරීම ඇතුළු තවත් හේතු ගණනාවක් දාලා ලේකම්වරයා මගේ වැඩ තහනම් කළා. මමත් බිරියත් දරුවන් දෙදෙනාත් ජීවත්වන්නේ අමාරුවෙන්. දරුවෝ පාසල් යනවා ස්ථීර රැකියාවක් නෑ. මම වරදක් කළා නම් මාව ‍ෙදාට්ට දැම්මා නම් ලේකම්වරයාත් අයින්වෙන්න ඕනෑ. හැමෝටම නීතිය පොදු වෙන්න ඕනෑ.

මොකද ගියවර ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්, ලේකම්වරයා කරපු වැරදි වැඩ හොරකම් හෙළිදරව් කළා. හැමෝටම නීතිය එක වෙන්න ඕනෑ. ලේකම්වරයාව ඉවත් නොකළොත් මම පැනලා මැරෙනවා.

එහෙම නැත්නම් මම මේකෙන් බහින්නේ නෑ. බඩගින්නේ පණ නැතිව මම නිකම්ම වැටිලා මැරෙයි. මට රස්සාව නැති කරපු නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක නොකරන හැමෝම මගේ මරණයට වගකියන්න ඕනෑ. මේ අවස්ථාවේ ලේකම්වරයා ප්‍රාදේශීය සභාවේ නොසිටි අතර එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුවේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතා උපවාසකරු ජලටැංකිය මතින් බස්සවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථ විය. පොලිස් නිලධාරීන් ටැංකිය මතට ඒමට උත්සාහ කළොත් ඔහු පැන මැරෙන බවද දිගින් දිගටම පවසා සිටියේය. ඊයේ ප.ව. 5.30 වන විටත් ඔහු සත්‍යග්‍රහයේ නිරතව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon