ලේසර් ඡායාරූප ගැනීමෙන් සීගිරි චිත්‍ර දැඩි අවදානමක පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු මත පළ කරති

  👤  1370 readers have read this article !
By mawbima 2018-10-16

උදේනි සමන් කුමාර

ජර්මාන් විශේෂඥ කණ්ඩායමක් විසින් මේ දිනවල සීගිරියේදී ලේසර් තාක්ෂණය යොදා බිතු සිතුවම්වල ත්‍රිමාන ඡායාරූප ගැනීම ලෝක උරුම සීගිරි චිත්‍ර අවදානමට ලක් කිරීමක් බවට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු මත පළකරති.

මෙම ලේසර් තාක්ෂණය යොදා බිතු සිතුවම් පිටපත් කිරීමේ ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව දැනුවත් වීමකින් තොරව හදිසියේ යොදාගත් එකක් බව වාර්තාවන අතර ජර්මානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නන්දදේව මහතාගේ සම්බන්ධීකරණයෙන් බවද දැනගන්නට ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැලණිය විශ්වවිද්‍යාලය සඳහා පිටපත් ලබාගන්නා පදනමින් මෙම ඡායාරූප ගැනීමට අනුමැතිය ලබාදී තිබේ. සීගිරිය බිතු සිතුවම් 'ලේසර් ස්කෑන්' කිරීම තුළ ඊට විය හැකි දිගුකාලීන හානිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිසි අවබෝධයක් නැති බවටද විද්වත් මත පළවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපාලි වතුගේ මහතා (රසායන) ප්‍රකාශ කළේ ලෝක ප්‍රකට බිතු සිතුවම් සංරක්ෂක රෝමයේ වර්නන් ස්මිත් සමඟ සීගිරි බිතු සිතුවම් සංරක්ෂණය කිරීම සම්බන්ධව අවස්ථා කිහිපයකදී වැඩසටහන් පැවැත්වූ නමුත් පුරාණ බිතු සිතුවම් මත ලේසර් තාක්ෂණය යෙදීම පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකර නැති බවය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව දෙපාර්තමේන්තුව දැනුවත් වූයේ ජර්මානු නියෝජිත පිරිස දිවයිනට පැමිණෙන්නට දින කිහිපයකට පෙර බවත් ඒ මහතා සඳහන් කළේය.

'ලේසර් ස්කෑනින්' පිටපත් ගැනීමේදී බිතු සිතුවම් මත ආලෝකයක් පතිත නොවන අතර එය රාත්‍රි කාලයේ අන්ධකාරය තුළ සිදු කෙරෙන්නක් බවද හෙතෙම පැවැසීය.

මේ සම්බන්ධව අදහස් දක්වන ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන්නේ ඉන්දියාවේ අජන්තා බිතු සිතුවම් හෝ ලෝකයේ කිසිදු ලෝක ප්‍රකට පෞරාණික සිතුවමක් මෙවැනි අත්හදා බැලීමේ ව්‍යාපෘතියකට යොදා ගැනීමට ඉඩ නොදෙන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon