නෝර්වුඩ් ගෙවල් 5ක් කාසල්රි ජලාශයේ ගිලෙයි

  👤  3165 readers have read this article !
By mawbima 2018-10-16

නෝර්වුඩ් - නීටා පද්මකුමාරි,

හැටන් - චන්න අද්දරගේ

නෝර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි ප්‍රදේශයේ ඇතිව තිබූ නාය යෑමේ අවදානම ඊයේ අලුයම සිට (15දා) යළි සක්‍රිය වීමත් සමඟ නෝර්වුඩ් _ නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් _ බගවන්තලාව - බළන්ගොඩ _ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස පහක් ඊයේ (15දා) උදෑසන 11.30 පමණ කාසල්රි ජලාශයට ගසාගෙන ගොස් ඇත.

නෝර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් හා නිවාස පහක් නාය යෑමේ අවදානමට ලක්වීම හේතුවෙන් එහි පදිංචි පවුල් 5කට අයත් සාමාජිකයන් 23 දෙනකු ඉවත් කරනු ලැබීය.
එමෙන්ම බගවන්තලාව මාර්ගයද කිසිසේත්ම රිය ධාවනය කිරීමට නොහැකි ලෙස පොළොව යටට ගිලා බැස තිබේ.

ඉකුත් 8දා සිට මෙම ප්‍රදේශය ඉරිතළා යමින් නාය යෑම ආරම්භ වූ අතර 11 වැනිදා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් එම ස්ථානය පරීක්ෂා කර ගිලා බැසීමට ලක්වූ නිවාස පහක පුද්ගලයන් 23කට ස්ථීරවම එම ස්ථානවලින් ඉවත් වන ලෙස උපදෙස් දෙන ලදී.

මාර්ගය ගිලා බැසීමත් සමඟ නෝර්වුඩ්, බගවන්තලාව, බළන්ගොඩ, මස්කෙළිය, සාමිමලේ හා නල්ලතන්නිය ආදී ප්‍රදේශවල පාසල් සිසුන්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්, පොදු ජනතාවට හැටන් නගරයට පැමිණීමේ අපහසුතාව නිසා පීඩාවට පත්ව සිටින අතර ජන ජීවිතය අඩාල වී ඇත. ඒ සමඟම එම ප්‍රදේශවල වෙළෙඳසල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවීම නිසා දැඩි අසීරුතාවට පත්ව සිටී.

එම ප්‍රදේශයේ නාය යෑම සක්‍රිය වීමත් සමඟ එම ස්ථානයෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට නෝර්වුඩ් පොලිසිය පියවර ගත් අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

නාය යෑම සක්‍රිය වී ඇති ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පෙරේදා (14දා) එම ස්ථානයට පැමිණි කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා අවතැන් වූ පවුල් 5ක් සඳහා නෝර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ඉඩමක රජය මඟින් නිවාස ඉදිකර දීමට කටයුතු කරන බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon