ආවා යාපනයේ යකා නටයි

  👤  3031 readers have read this article !
By mawbima 2018-10-16

මුලතිව් - ශෂිකුමාර්

'ආවා' කල්ලියේ සාමාජිකයන් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරන පහරදීම් හා මංකොල්ලකෑම් නැවැත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

මේ අතර යාපනය, මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී 40 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණය මඟහරිමින් වරෙන්තු ලබා සිටි පුද්ගලයන්ද, බීමතින් රිය පැදවූවන් මෙන්ම විවිධ වැරැදි සිදුකළ පුද්ගලයෝද ඒ අතර වෙති.

මේ සඳහා පොලිස් නිලධාරීන් 500ක් පමණ යොදවා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් කියා සිටියේ සාමයට තර්ජනයක් වන කල්ලි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.

යාපනයේ ජනතාව 'ආවා කල්ලිය' ඇතුළු කොල්ල කල්ලිවලට බියෙන් ජීවත් වන අතරතුර පොලිසියද මහමඟ යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කරමින් සහ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවැති වාතාවරණයක් උදාවී ඇති අතර මෙම තත්ත්වය ඉදිරියටත් පැවැතියහොත් දැනට කඳවුරුවල සිටින හමුදා සේනාංකද මාර්ගවලට පිවිස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට වඩා වෙනත් ක්‍රම අනුගමනය කිරීම වඩා වැදගත් බවද උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon