අධිකරණ නියෝග ඇමැතිනිය කල්තියා ප්‍රසිද්ධියේ කියනවා

  👤  3279 readers have read this article !
By mawbima 2018-10-16

අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දු - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15දා) මහනුවරදී ප්‍රකාශ කළේය.

අද අධිකරණයට කුමක් සිදුවී තිබෙන්නේදැයි මෙහිදී ප්‍රශ්න කළ හිටපු ජනාධිපතිවරයා, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳ නඩුවේදී සාක්ෂි විකෘති කර බොරු ගණන් ප්‍රකාශ කරන ලෙස සාක්ෂිකරුවන්ට බලපෑම් කර තිබෙන බවද චෝදනා කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ශ්‍රී ලංකාවේ හොර ආයතනයක් බවට පත්ව ඇතැයි චෝදනා කළ හිටපු ජනාධිපතිවරයා, රටේ දේශපාලන නායකත්වයට අවශ්‍යම පරිදි සාක්ෂි විකෘති කරමින් මෙම ආයතන හැසිරෙන බවද එහිදී සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිශා ශාඛා සමුළුව අමතමිනි.

එජාපයට ගෝඨා භයක් ඇති වී තිබෙන බවත්, ඒ බය එජාපයට ඇති විය යුතු වුවත්, අපේ ඇතැම් මන්ත්‍රිවරුන්ටත් එම බය දැනී තිබෙන බව මෙම සමුළුව ඇමැතූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහට ඇති බය පිළිබඳව අපේ අයට කැක්කුමක් තිබෙන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කළ අලුත්ගමගේ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ නොයන ලෙස වෙල්ගම මහතාට දැනුම් දෙන බවද මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පක්ෂයක් ලෙස ගත්විට අප කාටත් ප්‍රශ්න තිබෙන බවත් අපටත් වඩා එජාප පාක්ෂිකයන්ට ප්‍රශ්න තිබෙන බවත් සඳහන් කළ මන්ත්‍රිවරයා පක්ෂයේ දෙවැනි පෙළ නායකයන්ට තිබෙන ප්‍රශ්න ඔවුන් දරාගෙන සිටින්නේ පක්ෂය වෙනුවෙන් බවද මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

අලුත් නායකයො බිහිවෙන්න හදනවා. අපේ පැත්තෙම ඉන්න කොහෙවත් යන නරපණුවො රෙද්ද ගැටගහගන්න බැරි යක්කු. අද මේ රටේ කතා කිය කියා යනවා. අපි කියනවා කාගෙවත් ලණු කාලා කඩේ යන්න එපා මහත්තයෝ... තමුන්නාන්සේ ඔහොම කරනවා නම් අපිටත් කරන්න විකල්ප වැඩ තියෙනවා. මම කවුරු ගැනද කියන්නෙ කියලා දන්නවනෙ නේද?
මෙහිදී සභාවෙන් කිසිවකුගේ නමක් කියනු ඇසිණි

"වෙල්ගමද මොක්කුද මම කියන් දන්නේ නෑ" යනුවෙන් මන්ත්‍රිවරයා ඊට පිළිතුරු දුන්නේය.

ඊයේ - පෙරේදා සිට මෙරටේ අලුත් නායකයන් බිහි වෙන්නට හදන බවත් අපේ පක්ෂයේ සිටින ඇතැමුන් තැන තැන විවිධ කතා කියමින් යෑම කනගාටුවට කරුණක් බවත් රත්වත්තේ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

අපිට ඉන්නේ එක් නායකයායි. ඒ වෙන කවුරුවත් නොව, මහින්ද රාජපක්ෂ මහතායි. කාගෙවත් ලණු කාලා, එක එක්කෙනා පස්සෙ යන්න එපා කියලා මම දැනුම් දෙන්න කැමැතියි. අපිට ඉන්න එක් නායකයාට වැඩ කරනවා මිසක්, එක එක්කෙනාට කඩේ යන්න සූදානම් නොවන ලෙස මේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි ලොහාන් රත්වත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලොහාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළ ආකාරයට නොයෙකුත් අය නොයෙකුත් කතා කියනවා. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාග් ඔළුව පරීක්ෂා කරලා පසුගිය කාලයේදී වාර්තාවක් ලැබුණා. පොදුජන පෙරමුණේ කමිටුවට මානසික වෛද්‍යවරයකු දාගන්න සිද්ධ වෙයි. අපේ සමහර අයගේ ඔළුව පරීක්ෂා කිරීමට කාලය එළැඹ ඇති බව සිහිපත් කිරීම අවශ්‍යයි යනුවෙන් මෙහිදී සභාව ඇමැතූ පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon