කෙනෙහිලිකම් ඉවසාගත නොහැකිව සුරංජය ලංකාව හැර යයි !

  👤  3159 readers have read this article !
By mawbima 2018-10-16

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්වූ මීටර් 200 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභියා (තත්.20.68) වූ විනෝජ් සුරංජය ද සිල්වා ශ්‍රී ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යෑමට අදහස් කරගෙන ඇති බව "මව්බිම"ට සඳහන් කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධරයන් තමන් පිළිබඳව විමසා නොබලන බැවින් තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවද ඔහු පැවැසීය.

"මීටර් 200 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අයිතිව තිබෙන්නේ මට. ඒ වගේම මීටර් 100 ඉසව්වෙත් මම ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. මම මේ තරගයේදී මීටර් 200 ඉසව්ව දිව්වෙත් තුවාලයක් තබාගෙනයි. පසුගිය ජුනි මාසයේදී මට ඩෙංගු හැදිලා අසනීප වුණත් කිසිදු මලල ක්‍රීඩා නිලධාරියෙක් මම ගැන සොයා බැලුවේ නැහැ. මම හැම දෙයක්ම ඉල්ලන්නේ නැහැ. ඒත් අපි වෙනුවෙන් මෙයට වඩා විමසා බලන්න කියලයි මම ඉල්ලන්නේ" යනුවෙන්ද සුරංජයගේ ඉල්ලීම විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විනෝජ් සුරංජයගේ පුහුණුකරු වන විමුක්ති සොයිසා දරන්නේ මෙවන් අදහසකි. "විනෝජ් විතරයි මීටර් 100 හා 200 අඩුම කාලයකින් ලංකාව ඇතුළේ දුවන්නේ. ගොඩක් දෙනෙක් එයා ගැන හොයලා බලන්නේ නැහැ. ඒ නිසා එයා ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හෙල ක්ලෝතින් ආයතනය තමයි විනෝජ් ගැන සොයා බලන්නේ. ඒ වගේම ඩයන් ගෝමස් මහත්මයා තමයි ඔහුගේ හැම දේකටම දැනට පිටුපස්සේ ඉන්නේ.

ඩෙංගු හැදිලා හිටිය විනෝජ්ව මෙහෙම රැකගත්තේ ගෝමස් මහත්මයයි. අපේ කණ්ඩායමක් ඉන්න නිසයි විනෝජ්ට මෙහෙමවත් ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කණ්ඩායමට නිශාන්ත විජේමාන්න, භාතිය අත්තනායක, අජිත් කුමාර ඇතුළත් වෙලා ඉන්නවා" යැයි පැවැසූ සොයිසා මහතා තමන් ලංකාවේ සිටින ළාබාලතම පුහුණුකරු බවද සඳහන් කළේය.

"කොහොම වුණත් පාලකයන් මේ සඳහා මැදිහත් වෙලා විනෝජ්ට තව අනුග්‍රාහකයන් ලැබුණොත් මේ තීරණය වෙනස් වේවි. එහෙම වුණොත් 2020 ඔලිම්පික් උළෙලේදී විනෝජ්ට පදක්කමක් කරා යන්න පුළුවන් වේවි." යනුවෙන්ද විමුක්ති සොයිසා මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon