ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන්ගේ වැටුප් සියයට විස්සකින් වැඩි කරයි

  👤  2977 readers have read this article !
By mawbima 2018-10-16

සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පහළොවක සිට සියයට විස්සක් දක්වා ප්‍රතිශතයකින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙසේ වැටුප් වැඩි කිරීමට තීන්දු කරන ලදැයි වාර්තා වේ.

ඒ අනුව මෙම ඔක්තෝබර් මස 1දා වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසරක සේවය සම්පූර්ණ කළ සහ වසර තුනකට අඩු සේවා කාලයක් සපුරන සේවක සේවිකාවන් සඳහා සියයට පහළොවක වැටුප් වැඩිවීමක් ද වසර තුනකට වැඩි කාලයක් සේවය සම්පූර්ණ කළ අය සඳහා සියයට විස්සක වැටුප් වැඩිවීමක් නව වැටුප් සංශෝධනයට ඇතුළත් බව පැවැසේ. තවද මෙසේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාදාමයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෘජුවම සම්බන්ධ සේවක සේවිකාවන් 118 දෙනෙකුගේ සහ ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පළාත් සංගම්වලට අනුයුක්තව සේවය කරන සේවක සේවිකාවන් 244 දෙනෙකුගේ වැටුප් වැඩි වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම සේවය කරන සේවක සේවිකාවන් සංඛ්‍යාව 142ක් වුවද මෙම වැටුප් වැඩිවීමට අදාළ සංඛ්‍යාව 118ක් පමණක් වනු ඇත. ඉතිරි 24දෙනා පසුගිය වසරක කාලය තුළ වැටුප් වැඩිවීමකට ලක්වූ හෝ වසරක සේවා කාලය සම්පූර්ණ නොකළ අයගෙන් සමන්විත වන බැවින් මෙවර වැටුප් වර්ධකයට ඔවුන් හසු නොවන බව ඒ ගැන කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ මහතා ඊයේ 'මව්බිම'ට පැවැසීය. තවද මෙවර වැටුප් වැඩිවීමට ඇතුළත් කරගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන් 118 දෙනා අතරින් සියයට විස්සක වැටුප් වර්ධකයට සුදුසුකම් ලබන්නේ සේවක සේවිකාවන් 91ක් පමණි. ඉතිරි 27දෙනාට වැටුප් වැඩි වන්නේ සියයට පහළොවක ප්‍රතිශතයකින් පමණි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පළාත් සංගම්වලට අනුයුක්ත සේවක සේවිකාවන් සියලුම දෙනාගේ (244) වැටුප් ඉහළ යෑමට සියයට විස්සක ප්‍රතිශතය ක්‍රියාත්මක බවද විජේසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. කෙසේ වෙතත් මෙම ඔක්තෝබර් මස 1දා සිට ක්‍රියාත්මක වන වැටුප් වැඩි කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වාගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න මහතාගේ වැටුප් වැඩි නොවනු ඇත. හේතුව වත්මන් නිසි බලධාරියාගේ පාලනයට පෙර පසුගිය මැයි මාසයේදී ඔවුන් දෙදෙනාගේ වැටුප් පිළිවෙළින් සියයට තිහකින් සහ සියයට පහළොවකින් වැඩි කිරීමට හිටපු ක්‍රිකට් බලධාරීන් පියවර ගැනීමයි.

සේවකයන්ගෙන් තිබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුව විසින් යෝජනාවක් සම්මත කරන ලදුව ඊට අදාළ යෝජනාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිසි බලධාරි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා හරහා අමාත්‍යවරයාට ඉදිරිපත් කෙරුණු බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊට අනුමැතිය ලබා දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමනාකරු පැවැසීය.

කෙසේ වෙතත් මෙම වැටුප් වැඩි කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසි අතර එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ වසර තුනහමාරකට පසුව මෙසේ වැටුප් වැඩිකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි. තවදුරටත් එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා "ක්‍රිකට්වල කල්ලිවාදයක් ගොඩනඟන්න මට අවශ්‍ය නැහැ. සියලු දෙනාගේ සේවය අපි අගය කරන්න අවශ්‍යයි. අපිට පරිපාලනයට ලැබෙන කාලය මාසයද දෙකද ප්‍රශ්නයක් නැහැ. ඉන්න එක දවසට හරි ක්‍රීඩාවේ යහපතට අවශ්‍ය සියලුම පියවරයන් ගන්න මම පැකිළෙන්නෙ නැහැ" යනුවෙන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon