අනුන්ගේ උදව්වට ගොස් සදහටම ආබාධිත වූ සරත් රෝද පුටුවේ

  👤  3033 readers have read this article !
By mawbima 2018-10-16

දඹුල්ල - කේ.කේ. ආරියදාස

අනුන්ගේ උදව්වට ගසක නැඟ අත්තක් කැපීමට ගිය දෙදරු පියකු ගසෙන් ඇද වැටී වසර පහක් තිස්සේ සුෂුම්නාව බිඳී එක්තැන්ව සිටින බවත් මේ වන විට දියණියන් දෙදෙනා සහ මව, පියා, බිරිය ආහාර අර්බුදයකට මුහුණ පා සිටින බවත් සුෂුම්නාව බිඳී එක්තැන්ව සිටින පියා කියයි.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තෙහේන බේලියකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින ඩබ්ලිව්. ඒ. සරත් කුමාර මහතා මෙසේ සුෂුම්නාව බිඳී රෝද පුටුවකට වී වසර පහකට ආසන්න කාලයක් ගතවී තිබේ.
පාසල් යන වයසේ දියණියන් දෙදෙනකු සිටින ඩබ්ලිව්. ඒ. සරත් කුමාරගේ මෑණියන් අසනීප තත්ත්වයේ පසුවන අතර පියාද වකුගඩු රෝගියෙකි.

ගමේ ඉතා දිළිඳු භාවයෙන් ජීවත්වූ මොහු කාට හෝ උදවු උපකාර කරමින් සිටි බව ගම්වාසීහු පවසති. මීට වසර පහකට පමණ ඉහතදී තම ගම්මානයේම අයකුගේ නිවෙසක් ඉදිරිපිට තිබුණු අනතුරුදායක ගසක අත්තක් ඉවත් කරන ලෙස සරත් කුමාර මහතාට කියා ඇති බැවින් ඒ අනුව ඔහු එම අසල්වැසියාට උපකාරය කිරීමට ගසට නැඟ සිටියදී එකවරම ගසක අත්තක් කඩාගෙන නිවෙස ඉදිරිපිට ඇති තාප්පයක් මතට වැටී තිබේ.

එදා සිට මේ වනතුරුත් සරත් කුමාර මහතාට ඇවිද ගැනීමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ජීවත් වෙයි. ඔහුගේ පිටුපස කොටසේ සුව නොවන දරුණු තුවාලයකි. මුත්‍රා පිටවන්නේ නළයක ආධාරයෙනි.

එදා සිට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ආහාරපාන සොයාගෙන ජීවත් වූ සරත් කුමාර මහතාගේ කුඩා පැල වෙනුවට නොතෙමී ඉන්නට ගෙයක් තනා දීමට ගලේවෙල සමෘද්ධි බැංකු ආයතනය උදවු කොට තිබේ.
එහෙත් මේ විට සරත් කුමාර මහතාගේ දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකිව සිටින බව බිරිය වූ සේපාලිකා රාජපක්ෂ මහත්මිය කියන්නීය.

දිනකට එක වේලක් සරි කර ගන්නේ අපහසුතා මධ්‍යයේ බවත් ඇයත් කුඩා දියණියන් දෙදෙනාත් එක්ව පොල් අතු ඉරටු සුද්ද කර සොයා ගන්නා ඉතා සොච්චම් මුදලකින් ජීවිතය ගැටගසා ගනිති.

සරත් කුමාර මෙන්ම දරුවන් දෙදෙනාද නිසා බිරියට අඩුම තරමේ කුලී වැඩකටවත් යෑමට අවස්ථාවක්් නොලැබෙන බව ඇය පවසන්නීය. සැමියාගේ සියලු කටයුතු සිදුකළ යුත්තේද ඇය විසිනි. රෝගී සරත්ට මහලුව දැඩි අසාධ්‍යව සිටින මවුපියන්ට උවටැන් කිරීමටද නොහැකිය.

ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්ව තිබෙන්නේ අඩුම තරමේ දරුවන්ට දිනකට දෙවේලක් ආහාර ලබාදීමට මෙන්ම දැනට අඩක් ඉදිකොට ඇති වැසිකිළි පද්ධතිය ඉදිකර ගැනීම පමණක් බව ඔවුහු පවසති.

සතියට වරක් සරත් කුමාර මහතාගේ මුත්‍රා බට ඉවත් කිරීම සඳහා ගලේවෙල රෝහලට යායුතුය. ඇතැම් දිනවල ත්‍රිරෝද රථයට ලබාදීමට මුදල් නැති විට දැඩි අසරණතාවට පත්වන බව ඔවුහු හඬා වැටෙමින් පවසති. සුෂුම්නාව බිඳී එක්තැන්ව සිටින මෙම අසරණ පවුලට එක වේලකින් හෝ ආහාර ටිකක් ලබා දීමට හැකි නම් උතුම් ක්‍රියාවකි.

දුරකථන අංක 070-5872654 දුරකථන අංකයෙන් ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.

ලිපිනය ඩබ්ලිව්. ඒ. සරත් කුමාර වත්තේහේන, බේලියකන්ද, ගලේවෙල. කිසියම් ආධාර මුදලක් ලබා දෙන්නේ නම් ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඩබ්ලිව්. ඒ. සරත් කුමාර, කේ. පී. සේපාලිකා රාජපක්ෂ යන දෙදෙනාගේ ඒකාබද්ධ ගිණුම වන 74939086 අංකයට බැර කළ හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon