ලබන නඩු වාරය වන විට පෙරකලාසි සූදානම් කර නොගත්තොත් ලක්‍ෂයක දඩයක් නියම කරනවා

  👤  3068 readers have read this article !
By mawbima 2018-10-16

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

වෙන වෙන පැකැට් පාර්සල් අතනින් තියන්න මෙතනින් තියන්න කියලා බන්ධනාගාරය ඇතුළේ ඉඳන් දුරකථන ඇමැතුම් දෙන්න පුළුවන්. නමුත් නඩුවට අවශ්‍ය පෙරකලාසි ඉදිරිපත් කර ගන්න අවශ්‍ය කටයුතු සිදුකර ගන්න විදියක් නෑ කියනවා. ලබන නඩු වාරය වෙන කොට පෙරකලාසි සූදානම් නොමැති නම් රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කරනවා යැයි බෝම්බ සිද්ධියකට දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කාට තරයේ අවවාද කරමින් අනුරාධපුර දිසා විනිසුරු අතිරේක මහෙස්ත්‍රාත් චමරී දනන්සූරිය මෙනෙවිය විවෘත අධිකරණය හමුවේ කීවාය.

විනිසුරුවරිය මේ බව කියා සිටියේ ව්‍යාපාරිකයකු හා උපදේශකවරයකු වූ වසන්ත සොයිසා මහතා ඝාතනය වීම නිසා අගතියට පත්වූ ඒ මහතාගේ පුත්‍රයා කෝටි දහයක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා ඇතුළු ඔහුගේ ගෝලයන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන වන්දි නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

2019 වසරේ මාර්තු මස 18 වැනිදා නඩු විභාගය සඳහා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කළාය.

සිය පියා ඝාතනයට ලක්වීමෙන් සිය නැඟණිය වන ශමීදි සොයිසා, මව වන නිර්මලී සොයිසා ඇතුළු පවුලේ සාමාජිකයන්ට රැකවරණය අහිමි වී අසරණභාවයට පත්වී ඇතැයි කියමින් ඒ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ කරාතේ ක්‍රීඩක හා ව්‍යාපාරිකයකු වන ගිසර ද සොයිසා මහතා ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් පියසිරි මාරසිංහ මහතා මඟින් රුපියල් කෝටි දහයක වන්දි ඉල්ලා විත්තිකරුවන් 33 දෙනකුට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

පෙරකලාසි ඉදිරිපත් කරන්න දින ලබා දුන්නම ඒ දිනයට අවශ්‍ය කටයුතු කර ගන්න බෑ. බන්ධනාගාරය ඇතුළේ ඉන්නේ කියලා නිදහසට කරුණු කියනවා. නමුත් මම දන්නවා බන්ධනාගාරය ඇතුළේ ඉඳන් අර පාර්සලය අතනින් තියන්න මේ පැකැට් එක අර මුල ළඟින් තියන්න කියලා ඇමැතුම් දෙනවා කියලා.

ඒවා මෙහෙයවා ගන්න පුළුවන් ඇතුළේ ඉඳන්. නමුත් අධිකරණ කටයුත්තකට අවශ්‍ය දේ කර ගන්න බෑ. කොළඹ ඉහළ අධිකරණයටත් ඇමැතුම් දීලා තියෙනවා. මම ඒ පිළිබඳව හොයනවා. මම ඔය අංක දැකපු ගමන් දන්නවා කවුද මේවා පාවිච්චි කරන්නේ කියලා. ඉදිරි නඩු දිනය වෙන කොට අවශ්‍ය පෙරකලාසි සූදානම් නොවුණොත් රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කරනවා යනුවෙන් විනිසුරුවරිය විත්තිකරුට දැඩිව අවවාද කරමින් විවෘත අධිකරණයේ කීවාය.

අනුරාධපුර කඩපනහ මුදිතා මාවතේ පිහිටි පැනරෝමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරුවූ ගිනස් ලෝක වාර්තාලාභී කරාතේ උපදේශකවරයකු වූ වසන්ත සොයිසා මහතා මීට වසර තුනකට ඉහතදී එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිසක් එල්ල කළ අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනය විය. පැනරෝමා රාත්‍රි සමාජ ශාලාව විනාශ කිරීමට පැමිණි ඔවුන් කරාතේ ශූර වසන්ත සොයිසා මහතාට පිටුපසින් පැමිණ ඔහුගේ හිසට අත් පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඝාතනයට ලක්කර තිබිණි.

2017 වසරේ අප්‍රේල් මස ගිසර සොයිසා මහතා මේ වන්දි නඩුව අනුරාධපුර දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර එහි විත්තිකරුවන් ලෙස අනුරාධපුර කාර්මික පෙදෙස දහයියාගම ලිපිනයේ පදිංචි ආර්.ඒ. ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා, ඔහුගේ සහෝදරයා වන ආර්.ඒ. අසිත රණසිංහ ඇතුළු 33 දෙනකු නම් කර තිබිණි. පැමිණිල්ලට සිදුව ඇති අගතියට තනිවම හෝ එක්ව අදාළ මුදල ගෙවන ලෙස දන්වමින් මීට පෙර නීතිඥවරයා විසින් ඔවුන්ට එන්තරවාසි යවා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon