තලාතුඔය - අම්පිටිය - මහනුවර මාර්ගය හදා දෙන්නැයි උද්ඝෝෂණ

  👤  2976 readers have read this article !
By mawbima 2018-10-16

හන්තාන - චමින්ද කුමාර

තලාතුඔය, අම්පිටිය මහනුවර මාර්ගය හදා දෙන ලෙස ඉල්ලා ගිහි පැවිදි විශාල පිරිසක් ඊයේ උදෑසන (15දා) සිට අම්පිටිය මංසන්ධියේ උද්ඝෝෂණයක නියැළී සිටියහ. තලාතුඔයේ සිට මහනුවර දක්වා කිලෝමීටර් දහයකට වැඩි ප්‍රමාණයකින් යුතු මෙම මාර්ගයේ වාහන දෙකකට මාරුවීමට පවා ඉතා අපහසු පටු මාර්ගයක් වන අතර වසර ගණනාවකින් සංවර්ධනය නොකළ මාර්ගයක්ද වේ.

එසේම මහනුවර නගරයට වාහන පැමිණෙන ප්‍රධාන මාර්ගයක්ද වන මෙහි තලාතුඔය රටේමුල්ල, මොරගොල්ල, පස්ගම, මාරස්සන, බව්ලාන, ගලහ, දෙල්තොට, ඇතුල්ගම, පූලියද්ද, පනන්වල, කොළඹිස්ස, මාඋස්සාව, වාඩියගොඩ, උඩුදෙණිය වැනි අෑත දුෂ්කර ගම්මානවල සිට පැමිණෙන විශාල බස් රථ සංඛ්‍යාවක් මෙම මාර්ගයේ ධාවනය කරන අතර මාර්ගය පටු නිසා කාලය නාස්ති වීමක්ද මගී ජනතාවට සිදුවේ.

පසුගිය කාලයේ ජල නළ එළීම සඳහා මෙම මාර්ගයේ කානු කපා ඇති අතර ඒවා නිසි ක්‍රමයකට අනුව වසා දමා මාර්ගය සකස් කොට නැති බවටද උද්ඝෝෂකයෝ ප්‍රකාශ කරති. මේ නිසා දිනපතා ගමන් ගන්නා දහස් සංඛ්‍යාත ජනතාවට දැඩි දුෂ්කරතාවකට පත්වීමට සිදුවන බවද උද්ඝෝෂකයෝ ප්‍රකාශ කරති.

ඊයේ පැවැති උද්ඝෝෂණය නිසා සාමාන්‍ය ජනතාව මෙන්ම රජයේ රැකියා සඳහා යන පිරිස් මෙන්ම පාසල් සිසුන් හා ගුරුවරුද දැඩි අපහසුතාවකට පත්වූහ.

උද්ඝෝෂකයන් අතරට පැමිණි ගඟවටකෝරලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුභාෂ් යටවර මහතා ප්‍රකාශ කළේ මාර්ගය වැඩිදියුණු කිරීමට අවශ්‍ය මූලික වැඩකටයුතු සියයට අසූවක් පමණ මේ වන විට නිමකර ඇති බවයි. ඒ සම්බන්ධව බලධාරීන් මෙම ස්ථානයට පැමිණ ලිඛිත පොරොන්දුවක් දෙන තුරු උද්ඝෝෂකයන් විසිර නොයන බව ප්‍රකාශ කර සිටී. මාර්ගය සාදා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට ඉදිරිපත් කිරීමට පෙත්සමක්ද ජනතාව අස්සන් කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon