සිංගප්පූරුවේ සිට රන් බිස්කට් රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකුට දඩ

  👤  2982 readers have read this article !
By mawbima 2018-10-16

කටුනායක - ගයා තිරිමාදුර

රුපියල් එක් කෝටි හැට ලක්ෂ පනස් දහසක් (1,60,50,000) ක් වටිනා රන් බිස්කට් තොගයක් සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙයින් පළමු ශ්‍රී ලාංකික ගුවන් මගියා 50 හැවිරිදි වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙවැන්නා 46 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර තුන්වැන්නා කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. මොවුන් තිදෙනාම ගුවන් මඟින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත්, අලෙවි කිරීමේ යෙදී සිටින ව්‍යාපාරිකයෝ වෙති.

මොවුන් තිදෙනාගෙන් වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරු සහ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරිනිය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර අනෙක් ගුවන් මගියා වූ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරු පසුගියදා (10දා) සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයෙන් පැමිණ තිබිණි.

මොවුන් තිදෙනා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' (ට්පඥඥද ඛ්ඩචදඥත) ඔස්සේ පිටව යෑමට තැත් කිරීමේදී ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලුවල මෙම රන් බිස්කට් තොගය සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙහිදී වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයගේ ගමන් මලුවල රුපියල් 71,50,000ක් වටිනා කිලෝ ග්‍රෑම් 01යි, ග්‍රෑම් 100ක බර රන් බිස්කට් 11 බැගින් රන් බිස්කට් 22ක්ද, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකගේ ගමන් මල්ලේ රුපියල් 17,50,000ක් වටිනා ග්‍රෑම් 300ක් බර රන් බිස්කට් 3ක්ද තිබූ බව රේගුව ප්‍රකාශ කරයි.

රේගු අධිකාරි ඩී.ඩබ්ලිව්.කේ. විජේතුංග, නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක, රංජිත් සිල්වා, දිලංක ප්‍රසාද් සහ රසික සමන්ජිත් යන මහත්වරුන් මොවුන් අත්අඩංගුවට ගත් අතර රේගු විමර්ශනය ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ, රේගු අධ්‍යක්ෂ එම්. ඒ. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ.ජේ. ඔබේසේකර මහතා විසින් පවත්වා තිබිණි. මාබෝල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා පිළිබඳව පැවැති රේගු පරීක්ෂණය රේගු අධ්‍යක්ෂ දර්ශන සිල්වා මහතා විසින් පැවැත්වූ අතර එහිදී ඔහු විසින් නීති විරෝධී ලෙස ගෙන ආ රන් බිස්කට් සියල්ල රාජසන්තක කර රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ගෙනැවිත් තිබූ රන් බිස්කට් 11ම රාජසන්තක කර ඔහුට රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය. කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාව පිළිබඳව පැවැති රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.එස්. ගන්කේවෙල මහත්මිය විසින් පැවැත්වූ අතර ඇය ගෙන ආ රන් බිස්කට් රාජසන්තක කර ඇයට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon