දළ පූට්ටුවාගේ DNA ඇත් දළ සමඟ සැසඳෙනවා

  👤  2981 readers have read this article !
By mawbima 2018-10-16

යාපහුව - බණ්ඩාර හේරත්

ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව මහව දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් කහල්ල රක්ෂිතයේදී හමුවූ මියගිය දළ පූට්ටුවාගේ ඩී.එන්.ඒ. සාම්පල හා දැනට අධිකරණය භාරයේ ඇති ඇත් දළවල ඩී.එන්.ඒ. සාම්පල සැසඳෙන බව කියා සිටියේය.

අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් අට දෙනාද මෙදින අධිකරණයේ පෙනී සිටි අතර මහව අධිකරණයේ නීතිඥවරු තිදෙනෙක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියහ.

පරිසර සංවිධාන වෙනුවෙන් නීතිඥ බන්දුල දසනායක මහතාද පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නිහාල් සිසිර කුමාර (35683) මහතාද පෙනී සිටියහ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මෙම වාර්තාව තමුන් නිසි පරිදි කියවා තේරුම් ගත්තාදැයි විමසා සිටි අතර අපරාධ පරීක්ෂණ නිලධාරියා තමාට යම් තරමකින් ඉංග්‍රීසි භාෂාව වටහා ගත හැකි වුවත් සියලුම කරුණු පිළිබඳව අවබෝධයක් නැතැයි සඳහන් කළේය.

භාෂාව පිළිබඳ නිසි අවබෝධයක් නැත්නම් මෙම වාර්තාව පිළිබඳ හරිහැටි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ සඳහා දැනුමැති නිලධාරියකුගෙන් හෝ නීතිපතිගෙන් අසා දැනගන්නට තිබූ බවත් ඉදිරි දිනයේදී නිශ්චිත කරුණු ඉදිරිපත් කළ නොහැකි නම් දැනුමැති වෙනත් නිලධාරියකු අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අදාළ වාර්තාවේ අඩංගු කරුණු අනුව මෙහි ඇත්තේ ඇත්දළ සාම්පල සැසඳුණත් අනෙක් සාම්පල කිහිපයක් ඒ හා නොගැළපෙන බවත්, එසේ හෙයින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් වාර්තාව විධිමත්ව අධ්‍යයනය කොට ඉදිරි දිනයේදී නිශ්චිත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ පලඳනා සහ අනෙකුත් උපකරණ මේ හා සැසඳේද යන්න ගැන නිසි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.

5 වැනි සැකකරුගේ ත්‍රිරෝද රථය මුදා හරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙන් එම රථය සම්බන්ධයෙන් විමසා සිටියේය. අපරාධ පරීක්ෂණ නිලධාරීන් මෙහිදී මෙම ත්‍රිරෝදය සම්බන්ධ පරීක්ෂණ නිමා කොට ඇති බවත් එය මුදා හැරීම පිළිබඳව විරෝධයක් නොමැති බවත් සඳහන් කළේය.

ජංගම දුරකථන සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරීක්ෂණ අංශයට යළි සිහිකැඳවීම් යැවීමටත්, 3 වැනි සැකකරු එම දෙපාර්තමේන්තුව දන්වන දිනයක එහි ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටත්, ත්‍රිරෝදය විකිණීම අන්සතු කිරීම, වෙනස් කිරීම ආදිය තහනම් කරමින් රුපියල් ලක්ෂ 15ක බැඳුම්කරයක් මත මුදාහරින ලෙසටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව දෙසැම්බර් මස 5දා දක්වා කල් තැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon