භාරකාර ආණ්ඩුව මහින්දට භාර දිය යුතුයි

  👤  3239 readers have read this article !
By mawbima 2018-10-16

තිබෙන ආණ්ඩුව වෙනස් කිරීම අවශ්‍ය බවත්, එය හුදු ඔළුගෙඩි මාරු කිරීමක් නොකර, රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් බව, ජනතාව ඒත්තු ගැන්විය යුතු බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පසුගියදා පැවැසූහ.

එහිදී අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

මෑතක ඉඳන් අපේ දේශපාලනඥයන් වැඩිපුර කතා කරන්න පටන් අරන්. ඒත් ඔවුන් කතා කරන්නේ රට ගැන නොවෙයි. තමන්ට බලය ගන්නේ කොහොමද? කවද්ද? ඒ කා සමඟඳ? වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල භාරකාර ආණ්ඩුවක් ගැනත් කතා කරනවා. මේ තිබෙන ආණ්ඩුව වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. ඒත් ඒක තාවකාලික විය යුතුයි. මේක හුදු ඔළුගෙඩි මාරු කිරීමක් නෙවෙයි. රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි. භාරකාර ආණ්ඩුවක් හැදීම මේ වෙලාවේ කරන්න තිබෙන හොඳම ක්‍රියාමාර්ගයයි. එහි නායකත්වය මේ වන විට රටේ බහුතර මහජනතාවගේ විශ්වාසය දිනාගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතුයි. ජනතා විශ්වාසය ඒ ආණ්ඩුවට ලැබෙන්නේ එවිට පමණයි.

සමහරු කියනවා මහින්ද රාජපක්ෂ මහතාට තව ටික කාලයක් ඉඳලා තමන්ගේම ආණ්ඩුවක් හදාගන්න එක නේද හොඳ කියලා. ඒක ඇත්ත ඒත් 2015 මහ මැතිවරණය දිනුවා නම් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙනවා. ඒ අගමැති වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති යටතේමයි. ඒ නිසා එදා අගමැති වුණත් අද අගමැති වුණත් ජනාධිපති එක්කෙනාම නිසා මෙහි අමුතු දෙයක් නැහැ. මේ වෙනකොට ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිගේ බලතලවලින් කොටසක් අගමැතිට පවරා තිබෙන නිසා කලින්ටත් වඩා අද තත්ත්වය හොඳයි.

මේ ආණ්ඩුවට තවත් ඉස්සරහට යන්න බැහැ. රටේ කිසිම ආර්ථික කළමනාකරණය ගැන දෙස් විදෙස් ආයෝජකයන් තුළ විශ්වාසය බිඳවැටිලා. අලුත් ආයෝජකයෝ රටට එන්නේ නැහැ. ඉන්න ටිකත් රට අතහැර යනවා. දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඇඟලුම් කර්මාන්ත පන්සියයක් පමණ පසුගිය කාලය තුළ වැහිලා.

දැනට ඉතිරිවෙලා තියෙන්නේ තුන්සියයක විතර ප්‍රමාණයක්. එහෙම ආණ්ඩුවක් එක්ක රටක් ගෙනියන්න පුළුවන්ද? ජීවන වියදම වැඩිවෙලා. ජීවන වියදමට උත්තර හැටියට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරලා වැඩක් නැහැ. රාජ්‍ය සේවකයෝ ඉන්නේ දහතුන් ලක්ෂයක් පමණ ප්‍රමාණයක්. ඒක රටේ ජනගහනය සමඟ බලන විට සුළු ප්‍රමාණයක්. ඒ නිසා කළ යුතු වෙන්නේ සෑම ජනකොටසකටම ජීවත් වෙන්න පුළුවන් විදියට ජීවන වියදම අඩු කිරීමයි.

යුද්ධයෙන් දිනාගන්න බැරිවුණු ඊළම ව්‍යවස්ථා වෙනසකින් දෙන්න හදනවා. විස්ස ගෙනාවෙත් ඒකටයි. දැන් අධිකරණයෙන් තීරණය කර තිබෙනවා ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 36ක් විස්සේ අඩංගුයි කියලා. ඒ නිසා ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුයි කියලා. කිසිවෙක් අධිකරණයට නොගියා නම් මේක සම්මත වෙන්නත් තිබුණා.

කොළඹ - ජනක විජේවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon