රට සංවර්ධනය කිරීමේදී අපි පරිසරය රැක ගත යුතුයි

  👤  2961 readers have read this article !
By mawbima 2018-10-16

අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයට සහ රටවල් සමඟ සබඳතා ඇති කර ගැනීමට පමණක් සීමා නොකර රටේ විදේශ ප්‍රතිපත්ති, පරිසරය හා දේශගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද යොදා ගත යුතු බවත් රට සංවර්ධනය කළ යුත්තේ පරිසරය සුරැකීම පිළිබඳව අවධානය යොමු කරමින් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවැසීය.

ගල්කිරියාගම, උල්පතගම නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

වනවාසී රාහුල හිමියන් නොසිටියා නම් වෙනත් කවුරුන් හෝ පැමිණ මෙය ව්‍යාපාරයක් බවට හරවා ගැනීමට ඉඩ තිබුණා. ගස් කොළන් කපා දමමින් රෝස තිරුවාණා පර්වතය විනාශ කිරීමටත් ඉඩ තිබුණා. කෙසේ හෝ මෙම ජාතික සම්පත ආරක්ෂා වුණා. මෙය ජාතික සම්පතක් පමණක් නෙවෙයි. ආසියානු කලාපයටම තිබෙන විශේෂ ස්ථානයක්.

එවකට පැවැති සෑම ආණ්ඩුවකින්ම ආධාර උපකාර ලබාගනිමින් මෙම නාමල් උයන සංවර්ධනය කිරීමට ඔබවහන්සේ විශාල උනන්දුවක් දැක්වූවා. ඒ සියලු වැඩකටයුතු වෙනුවෙන් මම උන්වහන්සේට ස්තුතිය පුදකරනවා. මෙම ස්ථානය මේ තත්ත්වයට ගෙන එන්නට කැපවූ බොහෝ දෙනා අතරින් මාධ්‍යයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. සෑම විටම මාධ්‍යයට විවේචන එල්ල නොකර මාධ්‍ය හරහා සිදු වූ ගුණාත්මක සේවාවන්ද අපි අගය කළ යුතුයි.

රාහුල හිමියන්ගේ වුවමනාව වී තිබෙන්නේ මෙහි දැව කෞතුකාගාරයක් ආරම්භ කිරීමයි. ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. අපේ රටට දැව කෞතුකාගාර තුනක් අවශ්‍ය බව මගේත් මතයයි. වියළි කලාපය, මධ්‍යම කලාපය සහ තෙත් කලාපය තුළ ඒවා ඉදිකළ යුතුයි. ඔබවහන්සේ අපට ලබාදුන්නේ ඉතා හොඳ අදහසක්. මෙහි දැව කෞතුකාගාරයක් ආරම්භ කරමින් ඉන් පසුව අනෙක් ස්ථානවල එය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මේ හරහා විශාල දායකත්වයක් ලබාගත හැකියි. ඒ වගේම 'කේබල් කාර්' වැඩසටහන පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා.

මෙය ඉතා පැරැණි සම්පතක්. ඉතිහාසයේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ මෙය ආරම්භ වූ බව සඳහන් වුවත් මා නම් සිතන්නේ ඊටත් පෙර සිට මෙය ආරම්භ වන්නට ඇති කියායි. වර්තමානයේ සොයාගෙන ඇති තොරතුරුවලට අනුව රෝස තිරුවාණා පර්වතය අවුරුදු මිලියන 550ක් පැරැණි බව පැවැසෙනවා. මෙය සංස්කෘතික ත්‍රිකෝණයට භාරදීමට අවශ්‍ය වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශයේත් සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කළ යුතුයි. එය පොළොන්නරුව, දඹුල්ල හෝ අනුරාධපුරයට සීමා විය යුතු නැහැ. නාමල් උයන ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය වර්ධනය කළ යුතුයි.

වර්තමානයේ ලෝකය පුරා ඇති වී තිබෙන්නේ විශාල සටනක්. එය දෙවැනි ලෝක යුද්ධයටත් වඩා විශාලයි. හිරෝෂිමා නාගසාකිවලට බෝම්බ හෙළීමටත් වඩා අද ඇති වී තිබෙන සටන දරුණුයි. අප ජීවත් වී සිටින පෘථිවිය බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අප කල්පනා කළ යුතුයි. ගෝලීය දේශගුණික විපර්යාසය දැවැන්ත ගැටලුවක් බවට පත්වී තිබෙනවා. සාගර ජලය ආරක්ෂා කර ගැනීමත් ඉතාමත් වැදගත්. මගේ පසුගිය නෝර්වේ සංචාරයේ ප්‍රධාන අරමුණක් වූයේ සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා නෝර්වේ උපකාර ලබාගැනීමයි.

අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ පළමුවෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිසරය ආරක්ෂා කර ගැනීමයි. ජල සම්පත ආරක්ෂා කර ගැනීමයි. රටේ වනාන්තර ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. ජාත්‍යන්තර වශයෙන් රටවල් දැන් අවධානය යොමු කරන්නේ මේ තත්ත්වය පාලනය කර ගැනීමටයි.

2015 පැරිස් නුවරදී ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර දේශගුණික ගිවිසුමකට එළැඹුණා. සමස්ත ලෝකයට එම ගිවිසුමට ඇතුළත් වී සිටින අවස්ථාවක ඇමෙරිකාව ඉන් ඉවත් වී තිබෙනවා. නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මෙම ගිවිසුම ආරක්ෂා කළ යුතුයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon