හොරකමට වංචාවට දක්ෂ දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් මේ රටේ පිරිලා

  👤  3008 readers have read this article !
By mawbima 2018-10-16

'මේ රට දූෂණය, හොරකම, නාස්තිය කියන එක පිරිච්චම රටක්. මේ රට වාසනාවන්ත රටක් වගේම ඒ වාසනාව එක්ක එකතු වුණු අවාසනාවන්ත දේවලුත් තියෙනවා. හොරකමට, දූෂණයට, වංචාවට දක්ෂ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් පිරිච්ච රටක් වීම ඒ අවාසනාවන්ත දේවල්' යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසුවේය.

මහර නව පරිපාලන ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පසුගියදා මහර නගරයේ පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා


අපි දන්නවා ආණ්ඩුව ගැන බොහෝ විවේචන තිබෙනවා. විවේචන කරන්න ඉඩ දීලත් තියෙනවා. විවේචනවලට අපි කැමැතියි. ඒ වගේම දෝෂාරෝපණ හුඟාක් තිබෙනවා. දීලා තිබෙන මාධ්‍ය නිදහස නිසා ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙන් නොලබන නින්දා අපහාස මම විඳිනවා. අද රටේ ජනාධිපතිවරයාට කරන නින්දා අපහාස මේ රටේ හිටපු නායකයන්ට කරා නම් කරපු අය ඉන්නෙ කොහේද හොයා ගන්නත් නැහැ.


රාජ්‍ය සේවයේ පහළ ඉන්න දුප්පත් රාජ්‍ය සේවකයා ගැන මම කොයි වෙලාවකවත් චෝදනා කරන්නේ නැහැ. නමුත් රාජ්‍ය සේවයේ ඉහළ පුටුවල ඉන්න අයත් දේශපාලනඥයන් පුරුදු කරපු හොරකම්වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. සෑම කෙනෙක්ම නෙවෙයි වරදවා තේරුම් ගන්න එපා. කිසිසේත් සෑම කෙනෙක්ම නොවෙයි.

අපිට මේ රට හදන්න නිවැරැදි විය යුතු ප්‍රධාන ආයතන කිහිපයක් තියෙනවා. මාධ්‍යවල කතා කරන්නේ නැති රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඒ අතර ප්‍රධාන වෙනවා. අපිට රටේ ආදායම්වලින් දූෂණය, වංචාව නිසා අහිමි වන මුදල වළක්වා ගන්න පුළුවන් නම් අයවැය හදන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සේලාට ජීවන වියදම ප්‍රශ්නයක් නැහැ. හැම වසරකදීම වැටුප් වැඩි කරන්නත් පුළුවන්. රජයේ සේවකයන්ටත් තව තව පහසුකම් ලබා දෙන්න පුළුවන්. සාමාන්‍ය මහජනයාගේ දුගී බව නැති කරන්න, වඩා වැඩි පහසුකම් ලබා දෙන්න පුළුවන්. නමුත් මේ රටේ දේශපාලනඥයාගේ ඉඳලා සියලු රාජ්‍ය සේවකයා දක්වා තමාගේ හෘද සාක්‍ෂයට එකඟව තමන් හරිද තමන් වැරැදිද තමන්ගෙන් අහගන්න ඕනි.

අද තිබෙන ආර්ථික අර්බුදය ලෝකයේ අපිට විතරක් සීමාවුණ දෙයක් නොවෙයි. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය හොයලා බලන්න. ඉන්දියාවේ ආදායම් වියදම් තත්ත්වය තියෙන්නේ කොතැනද කියලා. ඩොලරයේ නැඟීම විශාල අභියෝගයක් ඒ රටටත්, ලෝකය වරින් වර වෙනස් කරන්න ලෝකයේ බලවත් රාජ්‍ය නායකයන් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු අපි වගේ රටවලට බලපානවා. මේ ලෝක බලවතුන්ගේ ආර්ථික යුද්ධය අපි වගේම පුංචි රටවලට හුඟාක් රිදෙන්න පටන් අරගෙන තියෙනවා. ආර්ථික විද්‍යාඥයෝ හොඳින් දන්නවා චීනය සහ ඇමෙරිකාවේ සීතල යුද්ධය නිසා තමයි අපි වගේම පුංචි රටවලට ඔළුව උස්සන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ අර්බුදය අතරට රටේ දූෂණය, වංචාව ඉහ වහා ගියහම මොනවද විය නොහැක්කේ.

අපිට ‍ෙදාස් කියනවානේ අපි නිතරම පිටරට යනවා කියලා. නමුත් ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙල්ස් ගියෙත් ශ්‍රී ලංකන් ගුවන් යානයක, සාමාන්‍ය මගියෙකුගේ ප්‍රවේශ පත්‍රයකට යන ගාණ තමයි එහිදී වියදම් වෙන්නේ. රටකට ගියාම බොහෝ දේ අපි අරගෙන එනවා. ගිවිසුම් අස්සන් කරනවා. බොහෝ දේවල් ඉගෙන ගන්නවා. දකිනවා. සීෂෙල්ස් රට ගත්විට මුළු රටේම ජනගහනය 92,000යි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයෝ විතරක් ඉන්නවා එක් ලක්ෂ හතළිස් දහසක්. එහි ඉන්නවා ලංකාවේ ගුරුවරු 27 දෙනෙක්.

වෛද්‍යවරු 15ක් විතර, නීතිඥයෝ රාශියක් ඉන්නවා. ලංකාවේ විනිශ්චයකාරවරු තමයි හුඟක් නඩු අහන්නේ. ඒ රටේ දූපත් ගොඩක් තිබෙනවා. පුදුම ලස්සන රටක්. එක දූපතකට මාව එක්කගෙන ගියා. එයාලගේ ලෝක උරුමයන් පෙන්වන්න. පැය එක හමාරක් විතර මම ගියා මුහුද අයිනේ මාර්ගයේ. කිසිම තැනක කොළ කෑල්ලක්, ප්ලාස්ටික් බෝතලයක්, පොලිතීන් කෑල්ලක් එදා දවසේ හුළඟට වැටිච්ච ඒවා එකක්වත් නැහැ. අපේ මුහුද අයිනට ගියාම කොහොමද. අඩිය තියන්න පුළුවන්ද. කවුද විනාශ කරන්නේ.

රටක් හදන්න අපි විසින් කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ආණ්ඩුවට විතරක් බැනලා බැහැ. දේශපාලනඥයන්ට විතරක් බැනලා බැහැ. රාජ්‍ය නිලධාරීන්ට විතරක් බැනලා බැහැ. අපි සෑම කෙනෙක්ටම සාමූහික වගකීම් සහ යුතුකම් තිබෙනවා. ඒවා ඉෂ්ට වෙන්න ඕනෑ. එහෙම නැතුව මේ රටේ හෙට මහා අධිරාජ්‍යයෙක් පහළ වුණත් අද ලෝකයේ තිබෙන ආර්ථික අර්බුදය තනිව විසඳන්න බැහැ.

පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon