කෝටි 4ක් වටිනා වාහන හා කෝටි 2ක මුදල් වංචා කළ ඉතාලි සමන්ත අත්අඩංගුවට

  👤  1342 readers have read this article !
By mawbima 2018-10-12

කොළඹ _ එම්.සී. පෙරේරා

විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කරන බව කියමින් හා කුලී පදනම මත වාහන ලබා ගෙන රුපියල් කෝටි හතරක් වටිනා වාහන හා රුපියල් කෝටි දෙකක් වටිනා මුදල් වංචා කර සැඟවී සිටි විවාහකයකු වන "ඉතාලි සමන්ත" නමැත්තා පානදුර පිංවත්ත ප්‍රදේශයේදී පෙරේදා (10දා) පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස සැකකරු ලබාගෙන තිබූ සුඛෝපභෝගී මෝටර් රථ 4ක්, ජීප් රථ දෙකක් සොයා ගත් බව පොලිසිය පවසයි.

පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කුලී පදනම මත ලබා ගත් වාහන ගැන හෝ එම පුද්ගලයා පිළිබඳව හෝ මාස කිහිපයක සිට කිසිදු තොරතුරක් නොමැති බව කියමින් වාහන කුලී පදනම මත ලබාදෙන ආයතන කිහිපයක හිමිකරුවන් පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාට පැමිණිලි කර තිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු එම පැමිණිලි පිළිබඳව වහා සොයා බලන ලෙස එම ඒකකයට ලබා දුන් නියෝග අනුව එම පැමිණිලිකරුවන්ගෙන් තොරතුරු විමසීමේදී මෙම වංචාව කර ඇත්තේ එකම පුද්ගලයකු බවට තොරතුරු ලැබී තිබේ. පසුව එම ඒකකයේ නිලධාරීන් ඔහු පදිංචි බව කියන පානදුර පිංවත්ත නිවෙස වටලා ඔහුගේ බිරියගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු ඉඳහිට නිවෙසට පැමිණෙන බවත් ඉන්නා තැනක් නොදන්නා බවත් බිරිය ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.

සැකකරු පරිහරණය කළ දුරකථන අංක හරහා විමර්ශන පැවැත්වුවද ඉන් වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබිණි. එහෙත් පසුව මෙම වංචාකාරී පුද්ගලයා පෙරේදා (10දා) ත්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණි බවට පොලිස් සැරයන් වීරසේන (55202) හා පොලිස් කොස්තාපල් ජයසූරිය (69315) යන මහත්වරුන්ට ලැබුණු තොරතුරක් සමඟ පොලිස් නිලධාරීන් පිංවත්තේ සැකකරුගේ නිවෙස වටකර ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කුලී පදනමට ලබාගත් වාහන හයෙන් හතරක්ම ලබාදී ඇත්තේ වත්තල _ එ‍ෙ¾ඩ්රමුල්ල _ කැලණිය හා මාකොළ ප්‍රදේශවල පුද්ගලයන්ට බවත් ඒවා ඔවුන්ට ලබා දුන්නේ විදේශ ගත කරන බවට පොරොන්දු වී ලබා ගත් මුදල්වලට හිලව් වීමට බවත් හෙළි වී තිබේ. ඉන් පසු ඔහුගේ රට රැකියා පෙන්වා මුදල් වංචා කළ ජාවාරමද හෙළි වූ බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයාට විරුද්ධව මුදල් වංචා සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිලි රැසක් ලැබී ඇතැයි අනාවරණය වීමෙන් පසු කරන ලද පරීක්ෂණවලදී ඔහු ඉතාලිය, ඊශ්‍රායලය, ජපානය හා ඩුබායි ආදී රටවල රැකියා ලබාදෙන බව පවසා එම මුදල් ලබාගෙන ඇති බවට එකී පැමිණිලිවලින් හෙළි වූ බවද පොලිසිය පවසයි.

සැකකරුගේ රට රැකියා වංචාවට හසු වු අම්බලන්ගොඩ, අකුරැස්ස, පානදුර, කළුතර (දකුණ), මාතර, මතුගම, දඹදෙණිය, ඇල්පිටිය, නාත්තණ්ඩිය, ගමගොඩ ආදී ප්‍රදේශවල පුද්ගලයන් 12 දෙනකුම පැමිණිලිකර ඇතැයි පොලිසිය කියයි.

ඒ අතර වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකුද සිටින බව පොලිසිය කියයි.

ඔහු ඒ ආකාරයෙන් ඩුබායි රටේ රැකියා සඳහා යවන බව පවසා එම පුද්ගලයන්ව සංචාරක වීසා මඟින් එරටට යවා අතරමං කර දැමූ අවස්ථාද තිබූ බව පොලිසිය පවසයි.

විදේශගත වීමේ අපේක්ෂාවෙන් ඔහු හමුවට පැමිණෙන ඕනෑම අයකු ඉතා සුළු කාලයකදී ඔහුගේ ග්‍රහණයට ගැනීමට සිය කතා විලාසය උපයෝගී කරගෙන ඇති බවත් ඔහු එලෙස අනාගත සිහින මාලිගා පෙන්වා මුදල් වංචා කර ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙවැනි වංචා රැසක් හේතුවෙන් ඔහු පානදුර පිංවත්ත ප්‍රදේශය මඟහැර අෑත පළාත්වල කුඩා හෝටල් කාමරවල නැවතී සිටි බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකරු 42 වැනි වියේ පසුවන තිදරු පියකු වන අතර ඊයේ (11දා) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon