අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කර සැලැස්මක් සකස් කිරීමට කමිටුවක්

  👤  1362 readers have read this article !
By mawbima 2018-10-12

නුවන් හෙට්ටිආරච්චි

දුම්රිය මාර්ග අසල අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කර ඊට සැලැස්මක් සකස් කිරීමට 14 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පත් කළ එම නිරීක්ෂණ කණ්ඩායම ඊයේ (11දා) උතුර හා නැඟෙනහිර දුම්රිය මාර්ග නිරීක්ෂණය සඳහා පිටත්කර යැවූ බවද ඊට වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ. සුමනසේන මහතා හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉන්ජිනේරු ඉරෝෂ් පෙරේරා මහතාද සහභාගි වූ බව එම අමාත්‍යාංශය දක්වා සිටියි.

ඊයේ (11දා) සිට 14දා දක්වා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකළපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැඟෙනහිර දුම්රිය මාර්ගවල නිරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව විද්වත් කමිටුවක් හරහා දින 5ක් තුළ දුම්රියට අලි ගැටීම වැළැක්වීම සඳහා සැලැස්මක් සකස් කිරීමට නියමිතය.

ඊට අදාළ මුදල් ඇස්තමේන්තුවද ඔක්තෝබර් 25දා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාරදීමට නියමිතව ඇති බවත් ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමටද තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon