විද්‍යා දැරියගේ ඝාතකයන්ට පොලිසියෙන් පලා යෑමට උදවු කළ පොලිස් පරීක්‍ෂක අතුරුදන්

  👤  1472 readers have read this article !
By mawbima 2018-10-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ , මුලතිව් ශෂි කුමාර්

යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක් කොට මරා දැමූ විද්‍යා දැරියගේ ඝාතකයන්ට පොලිසියෙන් පලා යෑමට උදවු කළ පොලිස් පරීක්‍ෂකවරයා පළාතෙන්ම අතුරුදන් වී ඇතැයි නීතිඥවරු පෙරේදා (10දා) කයිට්ස් අධිකරණයට දන්වා සිටියහ.

ඒ විද්‍යා ඝාතන සැකකරුවන්ට පලා යෑමට උපකාර කළ බවට චෝදනා ලැබ ඇති උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධ නඩුව කයිට්ස් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

සුන්දරේශන් ගජන් නමැති මෙම පොලිස් පරීක්‍ෂකවරයා විද්‍යා දැරියගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීම අතුරුදන් වී ඇති බවත් අනතුරුව පොලිස්පතිවරයා විසින් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවත් අධිකරණයට දැනුම් දී ඇත. මේ අවස්ථාවේදී කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ. ජුඩ්සන් මහතා නියෝග කළේ වහාම ඔහු සොයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

යාපනයදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පලා යෑමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලිසියට අනුයුක්තව සේවය කළ ශ්‍රී ගජන් නමැති පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් අධිකරණය නියෝග කරනු ලැබීය.

විද්‍යා ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වූ ස්විස් කුමාර් නමැත්තා ඇතුළු පිරිසට පලා යෑමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රී ගජන් නමැති උප පොලිස් පරීක්‍ෂකවරයා අදාළ පිරිස් වෙත උපකාර කොට ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණි.

ශ්‍රී ගජන් නිලධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පලා ගොස් ඇති අතර සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ මෙහෙයවන බවද පොලිසිය අධිකරණයට පැවැසීය.

නඩු විභාගය එළැඹෙන ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩු විභාගයට අදාළ නීතිපති උපදෙස් විමසීමට නියමිත බවද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon