මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන 25දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

  👤  1354 readers have read this article !
By mawbima 2018-10-12

අමිල අබේරත්න

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු මඟින් අක්‍රමිකතාවන් කර රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළැයි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පලිසේන යන අය මේ වන මස 25 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (11දා) නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ බැඳුම්කර වංචාවට අදාළ නඩු යළි කැඳවූ අවස්ථාවේදීය.

මහ බැංකු බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්‍ෂා කිරීම සහ විමර්ශනය කිරීම ස¼දහා පත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර නිකුතුවන්ට අදාළ හඬපට ඇතුළත් ඩී.වී.ඩී. තැටි වෙනස් කර, ඇතැම් දත්ත මකා දමා විකෘති කර, ජනාධිපති බැඳුම්කර කොමිසමට ලබාදීම සඳහා උපදෙස් දීම සහ මෙහෙයවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ද අර්ජුන් ඇලෝසියස් සහ කසුන් ඕෂධී පලිසේන යන අය ලබන මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම සිද්ධියට අදාළව වෝහාරික විශ්ලේෂණයක් සිදුකර නිරීක්‍ෂණ වාර්තාවක් සමඟ රස පරීක්‍ෂක වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

බැඳුම්කර නිකුතුවන්ට අදාළව ලක්‍ෂ 4කට ආසන්න දුරකථන ඇමතුම් පටිගත වී ඇති බව ද එලෙස පටිගත වී ඇති ඇමැතුම්වලින් ඇතැම් ඒවා අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අයගේ උපදෙස් සහ මෙහෙයවීම යටතේ මකාදමා, සමහර ස්ථානවලට දුරකථන ඇමතුම් ඇතුළුකර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර එලෙස මකන ලද දුරකථන ඇමතුම් හා ලබා ගැනීමේ දුරකථන ඇමතුම් ඇතුළු කර ඇති තැන් කවරේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් ඇත්දැයි රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් විමසා සිටින බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ පිළිබඳව සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධ පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බව දන්වා සිටියාය.

බැඳුම්කර සිද්ධියට අදාළව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චන්දන පෙරේරා මහතාට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් තර්ජනය කළා යැයි කියන සිද්ධියකට අදාළව දිවුරුම් ප්‍රකාශයක් මඟින් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ චෝදනා සහ අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් විසින් සිද්ධියට අදාළව සාක්‍ෂි සටහන් කිරීමේදී නීතිවිරෝධීව කටයුතු කර ඇති බවට විත්ති පාර්ශ්වයේ නීතිඥයන් එල්ල කර තිබූ චෝදනා අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ප්‍රතික්‍ෂේප කළ අතර නීතිඥ චන්දන පෙරේරා මහතාට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව නීතිපති නිරීක්‍ෂණ මුද්‍රා තබන ලිපියකින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

නීතිඥ චන්දන පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් විරෝධතාව දැක්වූ අතර ඒ මහතා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රහසිගත ලිපියක් ලෙස සිද්ධියට අදාළ නීතිපති නිරීක්‍ෂණ අධිකරණයට භාරදීමට නීතිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවයි. නීතිපතිවරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයට පරිභාහිරව ක්‍රියාත්මක කිරීමේ බලතල සහ නෛසර්ගික බලතල නොමැති බවය.

එලෙස රහසිගතව අධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීම මඟින් නීතිඥ චන්දන පෙරේරා මහතාට අගතියක් වී ඇති බවද ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයට කරුණු සැල කර සිටියේය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගෙන් කරුණු විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කර සිටියේ යම් යම් තොරතුරු සහිත ලිපි අධිකරණයේ අවධානය පිණිස මුද්‍රා තබා රහසිගතව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පවා ඉදිරිපත් කර තිබෙන බවය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් නීතිය පරිශීලනය කර නියෝගයක් ලබා දෙන තුරු අදාළ ලිපිය අධිකරණයට භාරගෙන නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට තීරණය කළ අතර නියෝගයෙන් පසු අදාළ ලිපිය පිළිබඳව තීරණය කරන බව දන්වා සිටියාය.

අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සජිත ජයවර්ධන, නීතිඥ අසේල සේරසිංහ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ. කසුන් පලිසේන වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon