පුද්ගලයකු පැහැරගෙන සිර කර තැබුවාට මුතුහෙට්ටිගමට අධි චෝදනා

  👤  1367 readers have read this article !
By mawbima 2018-10-12

අහංගම _ එන්.ජී. ලියනගේ

පුද්ගලයකු පැහැරගෙන ගොස් සිර කර තැබීම සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී අධි චෝදනා භාරදෙන ලදී.

අධි චෝදනා භාර දීමෙන් පසු එක් අයකු රුපියල් විසි දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මෙසේ අධි චෝදනා භාර දීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබුවේ නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න අෑපාගේ දිමුතු ප්‍රදීප්, නිරාජ් අසංක ජයවර්ධන සහ විදානකාරියකරනගේ හසිත අකලංක යන විත්තිකරුවන් පස් දෙනාය.

නිරාජ් අසංක යන සිවු වැනි විත්තිකරු වෙනත් නඩුවක් සඳහා මේ වනවිට බන්ධනාගාරගතව සිටින නිසා ඊළඟ නඩු දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

උඩුගම පොලිස් වසමේ ගල්ලන්දලදී 2009 සැප්තැම්බර් 7 වැනි දින පැමිණිල්ල නොදන්නා අන් අය සමඟ එක්ව අතුකෝරල ආරච්චිගේ නජිරාන් සෙනවිරත්න යන අය පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා ගෙන මරණ බවට තර්ජනය කර සාපරාධී බලහත්කාරකම් පෑම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුළු අධි චෝදනා නවයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

දකුණු පළාත් සභාවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා 2009 පැවැති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකු වූ සජින් වාස් ගුණවර්ධනගේ ගල්ලන්දල කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු කටයුතු කරමින් සිටියදී, සිද්ධිය වූ දින, උදෑසන විත්තිකරුවන් පැමිණ මුතුහෙට්ටිගම මහතාගේ කාර්යාලයක් කැඩූ බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන සාපරාධී බලහත්කාරය පා ඇති බව පැමිණිල්ල කියා සිටියේය. නඩු විභාගය ඔක්තෝබර් 31 වැනි දිනට කල් තබන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon