40 වසරක අධිකරණ සේවයට සමුදෙමින් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් විශ්‍රාම යයි

  👤  1467 readers have read this article !
By mawbima 2018-10-12

අනුරාධපුර -ආනන්ද කරුණාදාස

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් හතළිහකුත් මාස දහයක අධිකරණ සේවයකින් පසුව අද (12දා) විශ්‍රාම ලබයි. 1978 වසරේ ජනවාරි මස 2 වැනි දින රජයේ අධිනීතිඥයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති අගවිනිසුරු ඩෙප් මහතා 1989 වසරේ පෙබරවාරි මස 15 වැනි දින රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ තනතුරට පත්ව ඇත.

පසුව 1996 වසරේ පෙබරවාරි මස 22 වැනි දින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් පදවියට පත්ව ඇති ප්‍රියසාද් ඩෙප් මහතා 2007 වසරේ අප්‍රේල් මස 7 වැනි දින රජයේ සොලිසිටර් ජනරාල් ධුරයට උසස්වීමක් ලැබීය.

2011 වසරේ මැයි මස 10 වැනි දින ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්ව ඇති ඒ මහතා 2017 වසරේ මාර්තු මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරුවරයා ලෙස පත්ව මේ දක්වාම එම තනතුරේ රාජකාරි කළේය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ප්‍රියසාත් ඩෙප් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව නීතිය පිළිබඳව සරසවි අධ්‍යාපනය හදාරා ඇත. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මහමුතුගල මහතා උපුටා දක්වමින් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ආයතන අංශයේ අධිකරණ රෙජිස්ට්‍රාර් ජී.එම්.එස්. ධර්මකීර්ති මහතා සඳහන් කළේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා 40 වසරක සිය සේවා කාලය තුළ රජයේ තීරුබදු රහිත කිසිදු වාහන බලපත්‍රයක් විශ්‍රාම යන තුරුම ලබාගෙන නොතිබීමත් අධිකරණ විනිසුරුවරුන් සඳහා රජයෙන් ලබා දුන් ඉඩම් ද ඩෙප් මහතා කිසිදු අවස්ථාවක ලබා ගෙන නොතිබීමද විශේෂත්වයක් බවයි.

එමෙන්ම විදේශගත වූ සෑම අවස්ථාවකම විදේශගත වීම සඳහා රජයෙන් ලබා දුන් අත්තිකාරම් මුදල්වල මුදල් ආපසු රජයට භාර දීමට අගවිනිසුරුවරයා ක්‍රියා කිරීම ද විශේෂත්වයක් බවද ඔහු තවදුරටත් කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon