දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් ගොවීන්ගේ එළවළු නොගැනීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක්

  👤  1366 readers have read this article !
By mawbima 2018-10-12

දඹුල්ල - කේ.කේ. ආරියදාස

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු මිලදී නොගැනීම නිසා පෙරේදා (10දා) පෙරවරුවේ සිට ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය විසින් 10 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එළවළු මිලදී ගත් ව්‍යපාරිකයන්ගේ එළවළු ලොරි රථවලට පැටවීමේදී පොදු රථගාල භාවිත කළ යුතු බවත් රථගාලෙන් පිට එළවළු පැටවීම නොකළ යුතු බවත් තීන්දුවක් ගෙන තිබිණි. එම තීන්දුවට විරෝධය ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට සඳහා පැමිණි ව්‍යාපාරිකයන් එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ව්‍යාපාරිකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු පැටවීම සඳහා වෙනම මංතීරුවක් පවතින බවත් එම මංතීරුව ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබෙන බවත්ය.
එසේම වාහන නැවතුම්පොළක සිට එළවළු පැටවීම සිදු කිරීමේදී අතිවිශාල වියදමක් යන බවත් දුරබැහැර ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශාල කාල වේලාවක් ගතවීම හේතුවෙන් තමන්ට එළවළු අලෙවි කිරීමට නොහැකි වන තත්ත්වයක් උදා වන බවත් ඔවුහු පවසති.

මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 10 වැනිදා එළවළු ගෙන ආ ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති.

උදෑසන සිට දහවල් වනතුරුම එළවළු මිලදී ගැනීමක් සිදු නොවීම නිසා ගොවීන් එකවරම කෑ කෝ ගසමින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් හමුවීම සඳහා කාර්යාලයට කඩා පැනීම සිදු කළහ.

එහිදී වෙළෙඳ සංගම් නියෝජිතයන් සමඟ ගොවීන් සාකච්ඡාවක් ආරම්භ කළ අතර එහිදී ගොවීන් සහ ව්‍යාපාරිකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විණි. ගොවීන් කියා සිටියේ ව්‍යාපාරිකයන් විසින් ගොවීන්ට නිසි ලෙස සලකන්නේ නැති බවය. එමෙන්ම විවිධ අක්‍රමිකතා සිදුකරන බවත් ඔවුහු චෝදනා කරන්නට වූහ. කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් කියා සිටියේ මෙම තීන්දු තීරණ ලබා ගනු ලබන්නේ ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ගේ සහයෝගයට බවය.

කෙසේ වෙතත් එළවළු මිලදී නොගන්නේ නම් ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලකට මිලදී ගන්නා බව ව්‍යාපාරිකයෝ කියන්නට වූහ. එම ප්‍රකාශයට ගොවීන්ගේ දැඩි සතුට පළ කරන්නටද විය.

එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ ඇති ව්‍යාපාරිකයන් මෙන්ම ගොවීන් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද ආර්ථික මධ්‍යස්ථාන එළිමහනේදී සිදුකෙරිණි. එහිදී දෙපාර්ශ්වයම චෝදනා කර ගත් අතර නිශ්චිත විසඳුමකට එළැඹීමට නොහැකි විණි. එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයෝ තමන් එළවළු මිලදී ගැනීම සිදු නොකරන බව කියන්නට වූහ.

ව්‍යාපාරිකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි රථවාහන නැවතුම්පොළේ නවතා තිබියදී තම කම්කරුවන් යොදා පටවා දීමට කැමැත්ත පළ කරන බවය.

එහෙත් ව්‍යාපාරිකයන් කියා සිටියේ ක්‍රමාණුකූලව එම ක්‍රියාවලිය නිසි වේලාවට සිදු නොවන බවය. ප්‍රායෝගිකව එය සිදුකිරීමට නොහැකි බවද ඔවුහු අවධාරණය කරන්නට වූහ. එම නිසා මිලදීගන්නා භාණ්ඩ පැටවීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙන්කොට ඇති භූමි ප්‍රමාණය ලබා දුන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවද ඔවුහු පවසති.

ගොවීන්ද කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළත ගොවීන්ට වෙන්කොට ඇති ප්‍රමාණයත් එළවළු මිලදී ගැනීමට පිරිස්ද වෙන්කොට ඇති භූමි ප්‍රමාණයත් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබෙන බවය. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ආපනශාලා ඉදිරිපිට සහ කුණු කසළ බැහැර කරන ස්ථාන පවා ව්‍යාපාරිකයන් අත්පත් කරගෙන ඇතැයි ගොවීහු චෝදනා කරන්නට වූහ.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පිටස්තර එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන්ටද එළවළු මිලදී ගැනීම සිදු නොකර සිටි අතර ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ එළවළු මිලදී ගන්නා බව සඳහන් කළද ගොවීන්ගේ එළවළු මිලදී නොගත් ගොවීන් තවදුරටත් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන තුළ තබාගෙන සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon