ත්‍රීවීල් ගාස්තුත් 20%කින් ඉහළට

  👤  2915 readers have read this article !
By mawbima 2018-10-12

උදයන්ති මුණසිංහ

මුදල් අමාත්‍යාංශය පෙරේදා (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළි ඉහළ දැමීම හේතුවෙන්, ත්‍රිරෝද රථ ගාස්තු අද (12දා) සිට සියයට විස්සකින් (20%) ඉහළ දැමූ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටී.

ඒ අනුව ත්‍රිරෝද රථ ගාස්තු සඳහා පළමු කිලෝමීටරයට දැනට අය කරන රුපියල් හැටක (60) ගාස්තුව එලෙසම පවතින අතර දෙවැනි කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් හතළිහක (40) ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා රුපියල් පනහක් (50) දක්වා වැඩිකර තිබේ. මෙම 20%ක ගාස්තු වැඩි කිරීම සීමා වන්නේ බස්නාහිර සහ දකුණු පළාතට පමණක් බවත් අනෙකුත් පළාත් හතෙහි පළමු කිලෝමීටරය සියයට හතළිහකින්ද, දෙවැනි කිලෝමීටරය සියයට විස්සකින්ද ගාස්තුව ඉහළ දැමූ බව ඔහු සඳහන් කළේය. ඒ අනුව එම පළාත්වල පළමු කිලෝමීටරය රුපියල් අසූව දක්වා වැඩි කර ඇති අතර දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රුපියල් හැටක් (60) දක්වා වැඩි කර ඇති බවත් එහිදී දෙවැනි කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම රුපියල් හැටක් අය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම පළාත්වල මෙලෙස ගාස්තු ඉහළ දැමීමට ප්‍රධාන හේතුව ත්‍රිරෝද රථ වෘත්තිකයන් විවිධ අය කිරීම් සිදු කිරීම බව ඔහු කියයි.

එහිදී ඇතැම් වෘත්තිකයන් පළමු කිලෝමීටරය සඳහා පමණක් රුපියල් සියයක් (100) පමණ විශාල මුදලක් අය කරන බවට ඔහු චෝදනා කළේය. එය වැළැක්වීමේ අරමුණින් මේ ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවැසීය. ආණ්ඩුව මේ වනවිට පෙට්රල් ලීටරයකින් රුපියල් හැත්තෑතුනක් (73) අය කර ගන්නා බවට ඔහු චෝදනාවක්ද කළේය. මිල සූත්‍රය රටට හෙළි නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට සහ ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව අද දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට තම සංගමය පැමිණිලි කරන බවද ඔහු පැවැසීය.

සිවිල් සංවිධාන ඇතුළු වෘත්තීය සංගම් විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා එයට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (11දා) බොරැල්ල පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී සුනිල් ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon